දේශීය වෙදකම සුරැකීමට පියවර ගතයුතුයි – රිෂාඞ් බදියුදීන්

අපේ පාරම්පරික දේශීය වෙදකමේ උරුමයක් වන පාරම්පරික දේශීය ඖෂධ වර්ග හා, ඒ ආශ‍්‍රිත දැනුම සුරක්ෂිත කර ගැනීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා බුද්ධිමය දේපල පනතේ නීති රීති වඩ වඩාත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙම දැනුම හා ඖෂධ වර්ග ගෝලීය පාරම්පරික දැනුම හා සහයෝගීතාව යටතට ගෙන ඒමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රන ශාලාවේ පැවති ආයුර්වේද එක්ස්පෝ 2018 ආයුර්වේද මහා ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ උළේලේදී ය.
මෙම ප‍්‍රදර්ශනය 7 වැනි වරටත් සංවිධානය කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසිනි. මේ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක අනුග‍්‍රහය ලැබුණි. මෙම ප‍්‍රදර්ශනයේදී ආයුර්වේදය ආශ‍්‍රිත ඖෂධ වර්ග, රෝග නිවාරණය, ඒ ආශ‍්‍රිත නවීන උපකරණ ආදිය ප‍්‍රදර්ශනයට තබා තිබුණි. මීට අමතරව ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය ප‍්‍රතිකාර සායන ද පැවැත්වුණි.
මෙම ප‍්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාතය රිෂාඞ් බදියුදීන්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහත්වරුන් අතින් විවෘත කෙරුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
”ආයුර්වේදය අපේ පාරම්පරික දේශීය වෙදකම ඉතා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන විශිෂ්ඨ වෛද්‍ය ක‍්‍රමයක්, එය මඟින් ඈත අතීතයේ සිටම අපේ ජනතාව නිරෝගීමත් කරන්න, සුවපත් කරන්න පියවර ගත්තා. එදා අපේ හෙළ වෙද ඉසිවරුන් ඕනෑම රෝගයකට ගහ කොළ, පොතු, මුල් භාවිතා කරමින් ප‍්‍රතිකාර ලබා දුන්නා. අපේ ජනතාව එයින් සුවපත් වුණා. මේ අපේ විස්මිත වෙදකම ලෝකය පුරාම ප‍්‍රචලිත කිරීමේ කාලය දැන් උදා වෙලා තියෙනවා. අපි එයින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්න ඕන. අපි මේ අපේ හෙළ වෙදකමත්, ඊටම බද්ධව ඇති අපේ හෙළ ඔසු වර්ගත්, ආරක්ෂා කිරීමටත්, එය සංචාරක කර්මාන්තය සමඟ බද්ධ කිරීමටත් පියවර ගත යුතු වෙනවා. අපිට පාරම්පරික හෙළ වෙදකමේ විශ්මිත පර්යේෂණ හා නිෂ්පාදන ඔස්සේ ආයුර්වේද ඖෂධීය සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගත යුතුයි. ඒ වගේම මෙවැනි ප‍්‍රදර්ශන හරහා දේශීය වෙදකමේ විශිෂ්ඨ දස්කම් හා ඖෂධීය ක‍්‍රමවේදයන් ගැන අත්දැකීම් හා අදහස්හුවමාරු කර ගත යුතුයි. ඒ සඳහා අපි අපේ දේශීය වෙදකමේ උරුමයන් රැුක ගැනීමට පියවර ගත යුතුයි. ඒ සඳහා අපි බුද්ධිමය දේපල පනත යටතේ, දේශීය වෙදකමේ බුද්ධිමය අයිතිය සුරක්ෂිත කිරීමට අවශ්‍ය නීතිප‍්‍රතිපාදන එම පනතට ඇතුළත් කරන්නට පියවර ගන්නවා.

ඒ වගේම ලෝක බුද්ධිමය දේපල සංවිධානය (උෂඡුධ* සමඟ අපි පසුගිය වසර 5 පුරා අපගේ දේශීය පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයේ හා ඖෂධ වර්ග පිළිබඳව බුද්ධිමය දේපල සහයෝගය ලබා දීමට අපි ප‍්‍රමුඛවම ඉදිරිපත් වුණා. ඒ සඳහා දේශීය වෛද්‍ය ක`මයේ පාරම්පරික දැනුම ඥාණය ආරක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට පියවර ගන්නවා. මේ නිසා ලෝකය පුරා පිහිටි වෙනත් රටවල් හා අනෙකුත් තරඟකාරී පිරිසගෙන් අපේ වටිනා පාරම්පරික ඖෂධ දැනුම ආරක්ෂා කර ගැනීමට හොඳ රුකුලක් වේවි. ඒ සඳහා මම මගේ අමාත්‍යාංශය හරහා පාරම්පරික දේශීය වෙදකම ආරක්ෂා කර පවත්වාගෙන යාමට පූර්ණ සහයෝගය ලබා දෙනවා.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර, මහලේකම් බන්දුල දිසානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *