‘ෆ්රෝසන් ෂෝල්ඩර්’ රෝගයට භෞත චිකිත්සක පිළියම්

උරහිස එහා මෙහා කරන්නට බැරි තරමට වේදනා ගෙන දෙන රෝගී තත්ත්වයකට  ඇතැම්විට ඔබත් මුහුණ දී ඇති.  ෆ්රෝසන් ෂෝල්ඩර් (Frozen shoulder) නමින් හඳුන්වන මෙම රෝගී තත්ත්වයට මෙම නම යෙදීමෙන්ම රෝගී තත්ත්වයේ ස්වභාවය යම් පමණකට ඔබට අවබෝධකර ගැනීමට අපහසු නොවනු ඇත.
Adhesive capsulitis (ඇඩිසිව් කැප්සුලයිටිස්) යන නමින්ද හැඳින්වෙන මෙම රෝගය වැළඳීමට නිශ්චිත හේතුවක් හඳුනාගෙන නැති වුවද දියවැඩියා රෝගීන්ට වැළඳීමේ වැඩි හැකියාවක් ඇති බව සොයාගෙන තිබේ. ඊට අමතරව දීර්ඝකාලීනව අතෙහි චලනය සීමා කරන්නට සිදු වූ shoulder immonilization රෝගීන් අතර මෙන්ම සන්ධි ඉදිමීමකට හෝ ශල්‍ය කර්මයකට ලක්වීමෙන් පසුවද කෙනෙකුට ෆ්රොසන් ෂෝල්ඩර් වැළඳීමේ යම් හැකියාවක් පවතින බව හඳුනාගෙන තිබේ. මෙය වයස අවුරුදු හතලිහ ඉක්මවූ කාන්තා පාර්ශවය අතර සුලබ රෝගී තත්ත්වයකි.
උරහිසේ දැඩි බව, වේදනාව සහ චලන පරාසය අතිශයින් සීමා වෙමින් එය 25ක් හෝ ඊට වඩා වැඩිවීම ෆ්රෝසන් ෂෝල්ඩර් රෝග ලක්ෂණ අතර ප්‍රධානවේ.
උරහිසේ වේදනාව නොයෙක් හේතු මත හටගත හැකි අතර එම වේදනාවට හේතුව ෆ්රෝසන් ෂෝල්ඩර් රෝගයද එසේත් නැතිනම් Rotator cuff injury, bursitis හෝ අස්ථි බිඳීමක්, පැනීමක් හෝ වෙනත් උරහිසේ ආබාධයක් දැයි නිශ්චිතවම හඳුනාගත යුතුවීම ඉතා වැදගත් වන්නකි. ඊට හේතුව ෆ්රෝසන් ෂෝල්ඩර් රෝගී තත්ත්වයේදී සිදුකරන ප්‍රතිකාර ක්‍රමවේදයන් උරහිසේ වේදනාව පවතින අනෙකුත් රෝගී තත්ත්වයන් හිදී කරනු ලබන ප්‍රතිකාර ක්‍රමවලට වඩා හාත්පසින්ම වෙනස් වන නිසාය.
ෆ්රොසන් ෂෝල්ඩර් රෝගයේදී චලන පරාසය ඉක්මනින් වර්ධනය කිරීමේ ව්‍යායාම සහ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවේදයන් මුල සිටම ක්‍රියාත්මක කරන අතර උරහිසේ අනෙකුත් රෝග අවස්ථාවන්හිදී ප්‍රධාන තත්ත්වය සහ ආබාධය පාලනය වන තෙක් සමහර චලනයන් සීමා කිරීමක් සිදු කරනු ලබයි. රෝග විනිශ්චය ඉතාමත් නිවැරදි විය යුතු යැයි පවසන්නට හේතුව එය වන අතර රෝග වරදවා වටහාගෙන ප්‍රතිකාර කිරීම තුළින් ෆ්රොසන් ෂෝල්ඩර් රෝගය මෙන්ම අනෙකුත් රෝග තත්ත්වයන්ද උත්සන්න වීමට හැකියාව පවතී.
ආඝාතය, කූච විච්ජේදනය (mastectomy) හෝ උරහිස ආශ්‍රිත ශල්‍ය කර්මයක් හේතුවෙන් චලනය සීමාකර ඇතිවිට මෙම රෝගය හට ගැනීමට වැඩි ඉඩක් පවතී.
ෆ්රෝසන් ෂෝල්ඩර් රෝගය ක්‍රමයෙන් වැඩිවී නැවත අඩුවේගන යන රෝගයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය අදියර තුනකින් මේ ආකාරයට දැක්විය හැකිය.
පළමු අදියර
(Freezing stage)
ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගන්නා උරහිසේ වේදනාව උරහිස චලනය කරන විටදී ඉතා තද වේදනාවක් බවට පත්වේ. සමහර චලනයන් ඉතාමත් වේදනාකාරී වන අතර සමහර අවස්ථාවලදී උරහිසේ වේදනාව රාත්‍රී නින්දට බාධාකාරී වන ආකාරයෙන් පවා පැවතිය හැකිය. චලන පරාසය සීමාවීම ආරම්භ වන්නේ මෙම අදියරේදීය.
දෙවන අදියර
(Frozen stage)
මුලින් පැවති තද බල වේදනාව අඩුවන්නට පටන් ගනී. උරහිස චලනය තව තවත් සීමාවන අතර උරහිස් සන්ධිය තව තවත් තදවීමක් සිදුවේ.  මෙම අදියරේදී චලනය උපරිම සීමාවට පැමිණේ.
තුන්වන අදියර
(Thawing stage)
චලන පරාසය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගනී. මෙහිදී වෛද්‍ය ප්‍රතිකාර වශයෙන් වේදනා නාශක පෙති සහ cortico steroid (කෝර්ටිකෝ ස්ටෙරොයිඩ්) ඉන්ජෙක්ෂන් ලබාදීම සිදු කරයි. ෆ්රෝසන් ෂෝල්ඩර් ඉතා සංකීර්ණත්වයට පත් වූ විට කලාතුරකින් ශල්‍යකර්මයකට යොමු වන්නට සිදුවන අවස්ථාද නැතිවා නොවේ.
උරහිස් සන්ධියේ චලනය සීමා කරවමින් වේදනාව ගෙනදෙන මෙම රෝගී තත්ත්වයට භෞත චිකිත්සක ප්‍රතිකාර අත්‍යාවශ්‍යම වන්නකි. ෆ්රොසන් ෂෝල්ඩර් තත්ත්වය සඳහා භාවිතා කරන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම අතර චලන පරාසය වැඩි කිරීම සඳහා මැනුවෙල් තෙරපි සහ Join manipulation technique භාවිතය, ඇදීමේ සහ චලන පරාසය වර්ධනය කරවන ව්‍යායාම චිකිත්සාව, වේදනාව සමනය කිරීමට සහ ස්නායු හා ඒ ආශ්‍රිත මාංශපේෂීන් උත්තේජනය කරවන TENS, IFT වැනි විද්්‍යුත් චිකිත්සක ක්‍රම, ප්‍රදාහ සමනයට සහ පාලනයට ක්‍රයෝතෙරපි, චලනය වැඩි කිරීමට පෙර ස්නායු සහ ඒ අවට මාංශපේෂීන් ලිහිල් කරවන හීට් තෙරපි, දුර්වල වූ මාංශපේෂීන් උදෙසා මාංශපේෂි ශක්තිමත් කිරීමේ ව්‍යායාම් චිකිත්සාව, තද වී සහ සිරවී ඇති මාංශපේෂීන් ලිහිල් කිරීමට හෝ අවුලුවන ස්ථානයන්හි (Trigger point) ඇති මාංශපේෂි සඳහා Dry needling (වියළි කටු චිකිත්සාව) හෝ Lazer therapy වැනි චිකිත්සක ක්‍රම ප්‍රධාන වේ.
කොළඹ 07, වෝඩ් පෙදෙසේ, වයිබේ්‍රන්ට් ෆිසියෝ කෙයා හි විශේෂඥ භෞත චිකිත්සක ඩී.කේ. ඇන්තනි (B.P.T. CBDN, CMT, CADN, M.P.T (CP)
උපුටාගැනීම – ලක්බිම – උත්පලා සුභාෂිනී ජයසේකර 

Add a Comment

Your email address will not be published. Required fields are marked *