සීතා දේවිය ගින්නට පැන්න තැන ලංකාවේ….????

ලෝක ප්‍රකට රාම – සීතා පුරාවෘත්තයේ එන උද්වේගකරම අවස්ථාව වනුයේ රාවණා රජු විසින් ඉන්දියාවේ සිට ලංකාවට පැහැරගෙන එනු ලැබූ සීතාවගේ පතිවෘතාව පරීක්ෂා කරනු පිණිස රාම කුමරුන් විසින් කළ අග්නි පරීක්ෂාවයි. අග්නි පරීක්ෂාව යනු රාවණා රජු විසින් පැහැර ගන්නා ලද නමුදු තම පතිවෘතාව නොකෙළෙසුණු බව පවසමින් සීතා දේවියට විශාල ගිනිමැලයකට පැනීමට සැලැස්වීමයි. මෙය රාමකුමරුගේ සේම ඔහුගේ සොයුරු ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ සැකය දුරලීම පිණිස ගන්නා ලද ක්‍රියාමාර්ගයක්. මෙම ගිනිමැලය  ලක්ෂ්මන් කුමරුන් විසින් දල්වන ලද්දක් බව සඳහන්. එවැනි දැවැන්ත ගිනිමැලයකට කඩා පනින ඕනෑම අයකු ඒ ගින්නෙන් දැවී පිළිස්සී යාම සාමාන්‍ය  තත්ත්වයක්. එහෙත් සීතා දේවිය සුරැකි පතිවෘතා  ධර්මයේ බලමහිමයෙන් ඒ ගින්නට කඩා පැන්න ඇයගේ සිරුරේ  එක් රෝම කූපයකටවත් හානියක් සිදු නොවූ බවයි පැවැසෙන්නේ. එදා සීතා දේවිය එලෙස  ගින්නකට පැනීමෙන් තමන්ගේ පතිවෘතාවේ බලය පෙන්වූ ස්ථානය ලෙස හැඳින්වෙන නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ වැලිමඩ ආසන්නයේ  පිහිටි දිවුරුම්පොළ හෙවත් දිවුරුම්වෙල හඳුන්වන්නට පුළුවන්.

ඉන්දියාවේ සිට සීතා දේවිය ලංකාවට පැහැරගෙන පැමිණි රාමකුමරු ඇය සුවිසල් ගල්ලෙනක සඟවා තැබූ බවට අනුමාන කෙරෙනවා. එම ගල්ලෙන අදත් හැඳින්වෙන්නේ ස්ත්‍රීපුරය ලෙසින්. මෙම ස්ත්‍රී පුර ලෙන සහිත කඳුවැටිය  දිවුරුම්‍පොළට පෙනෙන තෙක් මානයේ පිහිටා තිබිමද විශේෂත්වයක්. එම ස්ත්‍රී පුර ගල්ලෙන තුළ  සිට රාවණඇල්ල, සීතා එළිය සහ දෝව රජමහා විහාරය දෙසට විහිද ගත් රහස් උමං මාර්ග තුනක් ඇති බවට විශ්වාස කෙරෙනවා.

අතීතයේ දිවුරුම්‍පොළ කියා හැඳින්වුණු මෙම ස්ථානය අදවනවිට දිවුරුම්වෙල නමින් හැඳින්වෙන අතර එහි පෞරාණික බෝධියක් සහිත දිවුරුම්වෙල රජමහා විහාරය කන්ද උඩරට රාජධානී සමයේ සිට අද දක්වා බොදු සැදැහැවතුන්ගේ වන්දනා මානවලට ලක්වන පුද බිමක්. ඒ කෙසේ හෝ මෙම  රාමසීතා පුරාවෘත්තාන්තය හා පවතින දැඩි සැබැඳියාව නිසා මෙම පුදබිම කෙරෙහි හින්දු බැතිමතුන්ගේ උනන්දුව දිනෙන් දින ඉහළයන බවක්ද අපට මෙහිදී දැන ගන්නට ලැබුණා. එමෙන්ම මෙම බෞද්ධ පුදබිම කෙමෙන් හින්දු පූජනීය ස්ථානයක් බවට පත්වීමත් , පසුගිය කාලයේ එහි විහාර භාරකාරත්වය විසින් ඊට කෝවිල් ලක්ෂණ එක්කිරීමත් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වූ බව අපට කීවේ  දිව්රුම්වෙල ප්‍රදේශවාසීන්මයි.

ඒ කෙසේ හෝ 2002 වසරේ සිට මෙය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නෛතික බලතලවලට යටත් පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට ඇති නිසා එහි සිදු කෙරෙන කවර හෝ වෙනස් කිරීමකට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය ගත යුතුමයි. එසේ සිදු නොකොට එම කටයුතුවල යෙදෙන්නවුන් පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය කළවුන්  වශයෙන් සැලකෙන නිසා ඔවුන්ට ඇපදීමේ  බලයක් මහේස්ත්‍රාත්වරයකුට පවා නොමැති බවයි අපට දැනගන්නට ලැබුණෙ. ඒ කෙසේ හෝ ප්‍රාග් ‍‍ඓතිහාසික යුගයක සිදු වූ බව පැවැසෙන රාමසීතා පුරාවෘත්තය පසෙක තිබියදී සියවස් ගණනක් පුරා මෙම ස්ථානය හා සම්බන්ධ ශාසනික ෙඓතිහාසික සහ පුරාවිද්‍යා උරුම සුරැකීම කෙරෙහි කාගෙත් අවධානය යොමු විය යුතු බවයි මෙම සංචාරයේදී අපට හමු වූ බොහෝ දෙනකු එක හඩින් කියා සිටියේ.

සහන් සංකල්ප සිල්වා

Add a Comment

Your email address will not be published. Required fields are marked *