සිරිසඟබෝ රජු හිස දන් දුන්නේ හත්තිකුච්ඡියේමද

 පසුගිය 2018-02-04 දින ඉරිදා ‘මව්බිම’ සැණකෙළියෙහි පුරාවිද්‍යාඥයන් පුදුමයට පත් කළ “හත්ථිකුච්ඡි විහාරයේ යටගිය කතාව මෙන්න” යන හිසින් පළවූ වටිනා ලිපිය කියවීමෙන් පසු මෙය ලියා එවීමට අදහස් කළෙමි. ඒ ලිපිය ලියූ එස්. රණසිංහ මහතා උත්සාහ ගෙන ඇත්තේ සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය නිවැරැදිව තේරුම් ගැනීමට අදාළ ඓතිහාසික තොරතුරු සොයා බැලීම විය යුතුය. ඇත්තෙන්ම එය සිදුවිය යුත්තකි. අපේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන්ගේ අවධානය මේ පිළිබඳ යොමුවිය යුතුව තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ සිරිසඟබෝ රජතුමන් හිස දන් දුන් ස්ථානය ලෙස ප්‍රකටව තිබුණ සියනෑ කෝරලයේ පිහිටා ඇති අත්තනගල්ල බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. ඓතිහාසික සාක්ෂි ඇතිව හෝ නැතිව කොයි කවුරුනුත් සිතාගෙන සිටියේ එසේය. මේ විශ්වාසය බිඳවැටීමට ප්‍රධානම හේතුව වූයේ නොච්ඡියේ සෝමානන්ද හිමියන් අතින් සම්පාදනය වූ හත්ථිකුච්ඡි විහාර වංසය නමැති පොත බව මගේ හැඟීමයි. ඊට කලින් ඉතිහාසඥයන් බොහෝ දෙනකු කීවේ මේ සිදුවීම සියනෑ කෝරලේ අත්තනගල්ලේදී සිදු වූ බවට ඓතිහාසික සාක්ෂි නොමැති බව පමණි. හත්ථිකුච්ඡියේදී සිදුවූ බවට සාක්ෂි ඇති බවක් කීවේ නැත. සෝමානන්ද හිමියන්ගේ හත්ථිකුච්ඡි විහාර වංසය සම්පාදනය වූයේ 1994 වර්ෂයේදීය. මේ පොතෙහි සිරිසඟබෝ රජතුමා දුගියාට හිස දන් දී ඇත්තේ රාජාංගණයේ හත්ථිකුච්ඡි විහාරයේදී යැයි අනුමාන කිරීමටද හැකිවන කරුණු ඉදිරිපත් වී ඇත.

එහෙත් ස්ථිර වශයෙන්ම හිස දන් දුන් ස්ථානය නිගමනය කර නැත. පරම්පරාගත විශ්වාසය අනුව මේ සිද්ධිය සිදුවී ඇත්තේ සියනෑ කෝරලයේ අත්තනගල්ලේදී යැයි බොහෝ දෙනකු පිළිගත්තත් ඒ පිළිගන්නේ ඓතිහාසික සාක්ෂි ඇති නිසා නොව පාරම්පරිකව පැවැති පිළිගැනීම අනුවය. මේ සිද්ධිය සිදුවූයේ රාජාංගණයේදී යැයි කීමටද ස්ථිර ඓතිහාසික සාධකයක්ද නැති බව පෙනේ. එසේනම් මෙය මතභේදයකට තුඩු දෙන කරුණකි. සිදුවිය යුත්තේ සංවාදයක් තුළින් නිගමනයකට පත්වීමය. එවැනි සංවාදයක් ගොඩනැඟීමේදී සෝමානන්ද හිමියන්ගේ සංකල්පනාවට පටහැනිව දැක්විය හැකි කරුණු ගැන විමසිලිමත් වීමද වැදගත් වනු ඇත.

මෙහිදී ප්‍රථමයෙන්ම විමසිලිමත් විය යුත්තේ ගෝඨාභය කුමරුට බියෙන් පලා යන රජතුමන් හත්ථිකුච්ඡිය වැනි අනුරාධපුරයට ඉතා ආසන්න ස්ථානයක සැඟවී සිටීවිද යන්නයි. අනුරාධපුරයත් හත්ථිකුච්ඡි විහාරයත් අතර දුර ප්‍රමාණය සැතපුම් දහතුනක් බව සත්‍ය නම් ඒ තරම් නුදුරු ස්ථානයක සැඟවේවිද යන්න ගැටලුවකි. එපමණක් නොව ක්‍රි.ව. 250 විතර වන විට හත්ථිකුච්ඡිය ඉතාම ජනාකීර්ණ පුදබිමක්ව පැවැති බව බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතිවලින්ම පැහැදිලි වන කරුණකි. එවැනි ජනාකීර්ණ පුදබිමක සැඟවේ යැයි කෙසේවත් උපකල්පනය කළ නොහැකිය. අනෙක් කරුණ නම් අත්තනගලු වංසයේ පෙනෙන ආකාරයට සිරිසඟබෝ රජතුමාණන් හිස දන් දී ඇත්තේ කැලෑ පාරක් ඔස්සේ යමින් සිටි මගියකුටය. අත්තනගලු වංස කතාව පිළිගතහොත් ඒ කැලෑපාර ඔස්සේ ගිය මගියා මෙතරම් ජනාකීර්ණ පුදබිමකට ගොඩවැදී යැයි සිතිය නොහැකිය. ඇරත් එවැනි ජනාකීර්ණ පුදබිමක මෙය සිදුවූවානම් ඒ වටා ජනතාව රොක් වනවා පමණක් නොව එය රහසක්ද නොවනු ඇත.

දඹදෙණි යුගයේ ලියැවුණු පොත පත ඇසුරින් නම් බොහෝ විට කියැවෙන්නේ සියනෑ කෝරලයේ අත්තනගල්ලේදීම මේ සිද්ධිය සිදුවී ඇති බවයි. අත්තනගලු වංසය, පූජාවලිය, රාජාවලිය, රාජරත්නාකරය වැනි පොත්පත්වල එන තොරතුරු අනුව නම් මේ සිද්ධිය සිදුවී ඇත්තේ රාජාංගණයේදී යැයි කෙසේවත් සිතීම අසීරුය. වත්මන් අත්තනගල්ල ගැන සඳහන් කරන පූජාවලි කතුවරයා එය පිහිටා ඇත්තේ කැලණියට ඊසාන දෙසින් බව ඉඳුරාම සඳහන් කරයි. එසේනම් දඹදෙණි කාලය වන විටත් සිරිසඟබෝ සිද්ධිය වත්මන් අත්තනගල්ලේදී සිදුවූ බව පිළිගෙන තිබුණාට කිසිම සැකයක් නැත.

මහාවංස ටීකාව නොහොත් වංශත්ථප්පකාසිනිය තුළ එන කරුණු අනුව ද සෝමානන්ද හිමියන්ගේ මතය අනාථ වන බවක් පෙනේ. මහාවංස ටීකාවේ සඳහන් වන්නේ මගියා ගෙනා රජුගේ හිස ඉසුරුමුණියට දකුණින් වූ යම් ස්ථානයක ආදාහනය කළ බවය. මෙතරම් ප්‍රසිද්ධ හත්ථිකුච්ඡියේදී එය සිදු කළා නම් එහි නම සඳහන් නොකළේ ඇයිද යන්න ගැටලුවක් නොවන්නේද?. මහාවංස ටීකාවේ එක්තරා ප්‍රකරණයක ‘සිරිසංඝබෝධිනො සරිරස්ස සාධු සක්කච්චං ආළාහන සක්කාරං කාරපිනි” යැයි දක්වා ඇති බවක් පැවැසෙතත් සමහරක ඇත්තේ සරීරස්ස නොව සිරසස්ස යැයි මතයක්ද පවතී. කෙසේ වුවත් සිරුර හත්ථිකුච්ඡි තරම් නුදුරු තැනක තිබුණේ නම් මේ දෙක එකම තැනක ආදාහනය නොකළේ මන්ද යන්න

ගැටලුවක් නොවන්නේද?

සෝමානන්ද හිමියන්ගේ නිගමනය සැකයට බඳුන්

වන තවත් කරුණක් නම් රජුගේ හිස ගෝඨාභය කුමරු වෙත ගෙන යන විට එය තරමක් දුරට නරක් වී තිබූ බව අත්තනගලු වංසයේ සඳහන් වී තිබීමයි. රාජාංගණයේ සිට අනුරාධපුරයට ඇති සැතපුම් දහතුන ගමන් කිරීමට නම් එතරම් කාලයක් ගතවන්නේ නැත. එසේනම් සැක කළ යුතුව ඇත්තේ දුර බැහැර පෙදෙසක සිට හිස ගෙන ආ බව නොවන්නේද? කෙසේ වෙතත් මෙවැනි කරුණු අනුව හිස දන්දීමේ සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳ නිගමනයකට පැමිණිය යුත්තේ තව තවත් කරුණු සොයා බැලීමෙන් පසුව බව අපගේ විශ්වාසයයි.

විශ්‍රාමික විදුහල්පති,
තල්ගහහේනේ විනී වරුසප්පෙරුම

Add a Comment

Your email address will not be published. Required fields are marked *