රටේම ලස්සන රූමත් කෙල්ලන් නුවර පෙරහරේ

ඇසළ සැණකෙළි උත්සව පැවැත්වීම සිංහලයා අනාදිමත් කාලයක පටන් කරන්නට පුරුදුව සිටි දෙයකි. මහනුවර ඇසළ සැණකෙළියත් මුල් කාලයේ බෞද්ධ මුහුණුවරක් ගෙන තිබුණද පසුව එහි ස්වභාවය වෙනස් වෙමින් පැවැත ආ ඉතිහාසයකටද උරුමකම් කියයි.

ක්‍රි.ව. 1747 සිට 1782 දක්වා රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ බෞද්ධ මුහුණුවරක් ගත් නුවර ඇසළ සැණකෙළිය පසුව දළදා පෙරහර නමින් හැඳින්වෙන්නට පටන් ගත් බව අද බොහෝ දෙනා නොදන්නා කාරණයක් වීම සිහිකටයුතුය. වර්තමාන දළදා පෙරහරට දේවාලවල අංගද එක්කර ගත්තද ක්‍රි.ව. 1675දී පමණ එය එසේ නොවීය. දළදා පෙරහර මෙන්ම නාථ දේවාල පෙරහරක් එකල තිබුණේ නැති බවට සාක්ෂි ඇත. නුවර තිබුණු ඇසළ සැණකෙළියට සහභාගි වූයේ අලුත්නුවර, කතරගම හා පත්තිනි යන දේවාල තුන පමණය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පසුව මේ වෙනස්කම් සිදු වූ බවට තොරතුරු විදේශිකයන් ලියූ පොත්පත් කිහිපයකින් අපට සොයාගත හැකිය. නුවර පෙරහර ගැන සම්පූර්ණ විස්තරයක් 1815 සැප්තැම්බර් 13දා නිකුත් කෙරුණු ගැසට් පත්‍රයේ සඳහන්ය. එහි දැක්වෙන පරිදි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා හා ඔහුගේ ආර්යාවත් ඒ පෙරහර බලා තිබුණේ රජ මැඳුර අසල වූ දකිනා මළුවේ සිටය. පෙරහරට සහභාගි වූ සියලු දෙනාම මත්පැන්වලින් වැළකී සිටි බවත් සඳහන් වන්නේ මේජර් ඩේවිගේ සටහන් අනුවය.

ඩොයිලිගේ දින සටහන්වලද නුවර පෙරහර ගැන සඳහන්ව ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පෙර නුවර ඇසළ පෙරහර හා සැණකෙළිය පිළිබඳ තොරතුරු ගැන සඳහනක් කරන්නේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් විසින්ය. රොබට් නොක්ස් කියන ආකාරයට එම තොරතුරු වැදගත්කමක් ගනී.

මේ ඒ විස්තරයය….. ‘සුදු ඇඳුමින් සරසන ලද ඇතෙකි. පාට කරන ලද සැරයටියක් දෑතින් ගත් කපුවෙක් උගේ පිට උඩය. ජනතාව එම සැරයටියට වැඳ නමස්කාර කරති. පඬුරු පිරිනමති. ඒ ඇතා ඉදිරියෙන් මිණිගෙඩිවලින් සරසවනු ලැබුවා වූ අලි ඇතුන් හතළිහක් පමණ ගමන් කරති.’

‘මේ අලි ඇතුන් පිටුපසින් ගමන් කරන්නේ යෝධ මිනිසුන් ගේ රූ සිහිපත් කරන ලෙසට ඇඳුම් ඇඳගෙන පැරැණි තාලයට නටන පුරුෂයෝය. විශාල ගස් ගල් උදුරා දැමීමට තරම් ශක්තිසම්පන්න යෝධ පුරුෂයන් මූර්තිමත් කරවන ජවනිකාවකි එය. අන් හැම ශබ්දයක්ම මැඬගෙන මහ හ¾ඩින් බෙර, නළා හා තාලම් පටවල් වාදනය කරන විශාල පිරිසක් ඔවුන්ට පසුව යති.’

පෙරහරේ ගැහැනුන් ගමන් ගත් බවටද තොරතුරු ඇත. එය මෙසේය.
‘ඔවුන්ටත් පසුව විශාල නැටුම් කණ්ඩායමකි. ඒ ඒ දේවාලවල නොයකුත් සේවයන් කරන එක් එක් කුලයේ ස්ත්‍රීන් තිදෙනා බැගින් අත්වැල් බැඳගෙන පේළියට යති. ඔවුන් අතර නැටුම් හා වැයුම් කරන්නවුන්ගේ කණ්ඩායම් ද ගමන් කරති.’

රොබට් නොක්ස්ගේ සටහන්වල පැහැදිලි කරන විදියට දේවාභරණයෙන් ඇතා පිට එන කපුවා දකින්නට ලැබෙන්නේ මේ කියන ස්ත්‍රීන් හා නළුවන්ට පසුවය. ඇතා පිට සිටින අනෙක් මිනිහා දේවාභරණයට ගෞරව කිරීමක් ලෙස කුඩයක් වැනි යමක් අල්ලාගෙන සිටින බව දක්වා ඇත. ඒ අනුව එම ඇතාට පසුව එන අලි ඇතුන්ද දෙදෙනෙකි. දේවාභරණ රැගෙන එන එක් ඇතකු කතරගම දෙවියන්ටය. අනෙකා පත්තිනි දෙවියන්ටය. නොක්ස් කියන ආකාරයට මින් පසුව එන්නේ ‘දේවාලවල සේවය කරන ස්ත්‍රීන්’ ය. උයන ගැහැනුන් ලෙස නොක්ස් සටහන් කරන මේ ස්ත්‍රීන් ආලත්ති අම්මලා වන්නට පුළුවන. නොක්ස් එය හරි හැටි වටහා නොගෙන ලියූවක් බැව් පෙනෙයි.

ඊටත් වඩා සුවිශේෂී තොරතුරක් මෙහි ඇත. එනම් දේවාලවල සේවකයන්ට පසුව ගමන් කර තිබෙන රූමතියන් පිළිබඳ කතාවය. නොක්ස් කියනපරිදි ‘මුළු රටේම සිටි රූමත් ස්ත්‍රීහු හැකි තරම් ලස්සනට ඇඳ පැලඳ එති. දේව උපහාරය වශයෙන් යන මේ සුන්දරියන් දහස් ගණනකි. පෙරහර යන වීදි කොඩි, තොරණ ආදියෙන් සරසා දිවා රෑ දෙකෙහි පිරිසුදුවට තබති’ යන්නෙන් එම තොරතුරු පැහැදිලි වන්නේය. රූමතියන් දකින ජනයාත් රජුත් රාජ පරම්පරාවත් සිතන හැටි සිතා ගත හැකිය.

එපමණක් නොව රූමතියන්ට පසුව ගමන් කොට තිබෙන්නේ සෙබළුන් පිරිවරාගත් සේනාධිපතිවරුන්ය. පෙර කලදී නම් මහ රජතුමාද ඇතකු පිට නැඟී මෙම පෙරහරේ ගමන් කොට ඇත. ඇසළ පුන් පෝයට දින කිහිපයකට උඩදී රන්දෝලි ගෙන යෑමට පටන් ගන්නා අයුරුත්, දිය කැපුම් පෙරහර ගැනත් ඊට පසු පැවැත්වෙන බලියකුන් නැටුම ගැනත් නොක්ස් සඳහන් කර ඇත.

නොක්ස් පවසන ආකාරයට දේවාලවලින් දේවාභරණ පිටතට ගෙන පෙරහර පිටත් වන තුරු මහජනයාට විජ්ජාකාරයන්ගේ හා නළුවන්ගේ කෙළි සෙල්ලම් බලා තුටු වීමට ඉඩ සැලසී ඇත. එහෙත් පෝල් ඊ පීරිස් ලියූ ‘සිංහලේ ඇන්ද පේටි්‍රයට්ස්’ නම් පොතෙහි දැක්වෙන්නේ 1815 දී පමණ පෙරහරේ පිනුම්කාරයන් ඉන්දියාවෙන් පැමිණ රඟ දැක්වූවන්ය.
නොක්ස් පෙරහර නරඹා බොහෝ කලකට පසු සිය සටහන් තබා තිබුණු නිසා ඇතැම් සිදුවීම් මඟ හැරී ගොස් ඇති බව සිතිය හැකිය. අද පෙරහරේ නැති යෝධ ඇඳුමින් සැරැසී එන පිරිසක් එදා විය. එය නොක්ස්ට අමතකව ඇත. එනම් ගෝඨයිම්බර, සුරනිමල වැනි යෝධයන් සිහිගන්වමින් අදත් මහියංගණ පෙරහරේ ඇති, එදාද තිබුණු අංගයක් වූ මහබඹාය. අද මහබඹාලා නැති වුවත් එදා රඟ දැක්වූ බවට ප්‍රවාදගත තොරතුරු බොහෝය. ඒවා බැහැර කළ නොහැකි ජනතා සාක්ෂිය.

මෙහි කියැවෙන ඇසළ සැණකෙළියට අනුව නුවර පැවැත්වෙන පෙරහරට බුද්ධාගම එකතු වීම නිසා බෞද්ධාගමික පසුබිමට සරිලන පරිදි පෙරහරේ ගමන් කරන රූමතියන්ට ඉන් ඉවත්වන්නට සිදුවූවා විය යුතුය. අද නුවර පෙරහරට විවිධ අංගෝපාංග එක්ව ඇතත් ඇසළ සැණකෙළිය හා බැඳුණු පැරැණි පෙරහර උත්සවය වඩාත් විචිත්‍රවත් ඉතිහාසයකට උරුමකම් කියා ඇති බව කිව යුතුය.

එස්. රණසිංහ

Add a Comment

Your email address will not be published. Required fields are marked *