ට්‍රැවිස් වෝල්ටන් පිටසක්වළ ජීවීන් පැහැරගනී

පිටසක්වළ ජීවීන් විසින් කරනු ලබන පැහැර ගැනීම් පිළිබඳව පුවත් විවිධ වකවානුවලදී ලොව නන් දෙසින් වාර්තා වේ. මෙලෙස වාර්තා වූ එක් සිදුවීමක් නම් 1975 දී සිදුවූ ට්‍රැවිස් වෝල්ටන් නම් පුද්ගලයාගේ පැහැර ගැනීමය. ඇමෙරිකානු ජාතික දර කපන්නකු වූ ට්‍රැවිස් ඇරිසෝනා ප්‍රදේශයේ කඳුවලින් ගහන වූ ප්‍රදේශයක රාජකාරි කරමින් සිටියේය.

1975 නොවැම්බර් මස 05 වැනි දින රාජකාරි නිම වී තවත් පස් දෙනකු සමඟ ට්‍රක් රථයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම සිදුවීමට මුහුණ දුන් බව සඳහන් වේ. එදින නිවෙස් බලා යන මේ පිරිසට එකවරම ගස් අතරින් විශාල දීප්තිමත් එළියක් දැක ගැනීමට ලැබී ඇත. මේ අවස්ථාවේ වාහනය නතර කරන ලෙසට ට්‍රැවිස් කෑ ගසා ඇති අතර පිටුපස සිටි පුද්ගලයෙක් පවසා ඇත්තේ ඔවුන් දකින්නේ අභ්‍යවකාශ යානයක් හෝ පියාඹන පීරිසියක් බවයි. එම වස්තුව ඔවුන්ට මීටර් 100ක් පමණ දුරින් දර්ශනය වී තිබේ. එය ඉතා අලංකාර ගෝලාකාර ලෝහයෙන් සුසැදුනක් බව සියලු දෙනාට දිස් විය. ට්‍රැවිස් ට්‍රක් රථය නතර කළ වහාම එයින් බැසගෙන වස්තුව වෙතට ගමන් කරන්නට විය. ඔහු වස්තුව වෙත ළං වනවිට ඔහුගේ සගයෝ බියට පත්ව ඔහුට නැවත ආපසු හැරී එන ලෙස පවසමින් කෑගසන්නට වූහ. මේ අවස්ථාවේ අභ්‍යවකාශ වස්තුව මහත් හඬක් නංවන්නට විය. ට්‍රැවිස් ආපසු හැරී දුවන්නට සූදානම් වූ නමුත් මේ අවස්ථාවේ යානය වෙතින් එල්ල වූ අධිබල ශක්තියක් මඟින් ඔහුව එක්වරම ඉහළ අහසට ඔසවා ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අනිත් පිරිස සිතා ඇත්තේ ට්‍රැවිස් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවකි. ඔහු මිය යන්නට ඇතැයි සිතූ ඔහුගේ සගයෝ වහාම උදවු ඉල්ලාගෙන ඒමට එතැනින් නික්මුණහ. ට්‍රැවිස්ගේ සගයන්ගේ දැනුම්දීම මත එහි පැමිණි පොලිසිය, හමුදාව හෙලිකොප්ටර් යානා යනාදිය යොදා ගනිමින් ට්‍රැවිස් පිළිබඳව සොයා බැලූ මුත් ඔවුන්ට ඔහුගේ සලකුණකුදු සොයාගත නොහැකි විය.

මේ අතරවාරයේ තමාට මුහුණදීමට සිදුවූ අත්දැකීම ට්‍රැවිස් පවසා සිටින්නේ මෙසේය. ඔහු පවසන්නේ තමාට සිහිය එන විට විශාල යානාවක් තුළ තමා සිටිනු අත්දකින්නට ලැබුණු බවයි. ඔහු වටකරගෙන කුඩා ජීවීන් පිරිසක් සිටි අතර ඔවුන් පිටසක්වළ ජීවීන් බව ඔහු පවසා සිට. ට්‍රැවිස් මුලින් සිතා ඇත්තේ මේ පිරිස වෛද්‍යවරු බවයි. ඔවුන් තමාව නිරීක්ෂණය කරන බව ඔහු සිතා ඇත. නමුත් ඉන්පසු ඔහුට වැටහී ඇත්තේ ඔවුන් වෛද්‍යවරු නොවන බවයි. තමා ආසන්නයේම සිටි ජීවියාට පහර දී එළවා දැමීමට ඔහු උත්සාහ ගෙන ඇත. නමුත් තමාගේ අත් එසවීමට නොහැකි තරම් බර බව ඔහුට ඒ අවස්ථාවේ හැඟී ගොස් තිබේ. කෙසේ නමුත් ජීවියා යාන්තමින් තල්ලු කර දැමීමට ඔහු සමත්ව තිබේ.

ඔහු පවසා සිටින්නේ එම ජීවියා ඔහු සිතුවාට වඩා සැහැල්ලු ශරීරයකින් යුතු වූ බවයි. ඔහුගේ පහරින් ජීවියා තල්ලු වී ගොස් එතැන සිටි අනිත් ජීවියකුගේ ශරීරයේ ගැටී ඇත. මේ අවස්ථාවේ ඔහු තමා අසල තිබූ දේවලින් ජීවීන් වෙත දමා ගැසීමට පටන්ගෙන ඇත. මෙවිට ජීවීන් ඔහු වෙත ඉතා නපුරු බැල්මෙන් බලා සිටි බව පවසන ට්‍රැවිස් වැඩි දුරටත් පවසන්නේ එම බැල්ම ඔහුට කිසිදා අමතක නොවන බවයි. ඉන්පසු බොහෝ වාර ගණනාවක් ඔහුට සිහිනෙන් පවා ඒ ජීවීන්ගේ එම නපුරු බැල්මවල් පෙනී ඇති බව ඔහු කියා සිටී.

ඉන්පසු ඔහු වෙත පැමිණි අඩි 6ක් පමණ උස මනුෂ්‍ය ස්වභාවයේ දෙදෙනකු ඔහුව රැගෙන වෙනත් කාමරයක් වෙත ගෙනගොස් තිබේ. එම දෙදෙනා කාන්තාවක් හා පුරුෂයෙක් වූ බවත් ඔවුන් ඉතා ලස්සන බවත් ට්‍රැවිස් කියා සිටී. ඔවුන්ගේ සම පෝසිලේන් මෙන් දිදුලන ස්වභාවයක් ගත් බැව් කියවේ. මේ දෙදෙනා අජටාකාශගාමීන් මෙන් හෙල්මට් වැනි දෙයක් පැලැඳ සිටි බව ට්‍රැවිස් පවසයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කාමරයට රැගෙන යෑමෙන් පසුව ට්‍රැවිස්ව ඇඳක් මත සතපවන ලදී. ඉන්පසු ඔහුගේ මුහුණට මුව ආවරණයක් දමන ලදී. ට්‍රැවිස් පවසන්නේ ඉන් පසු ඔහුට සිහිය නැතිවූ බවත් සිහිය එන විට ඔහු තමා මුලින්ම යානය දුටු ස්ථානයේ වැටී සිටි බවත්ය. ඔහු මුලින් සිතා ඇත්තේ තමන් පැයකට දෙකකට අතුරුදන්ව සිටි බවයි. නමුත් පසුව ඔහු දැනගෙන ඇත්තේ තමා දවස් 5ක් තිස්සේ අතුරුදන් වී සිටි බවයි. ඔහු නගරය දෙසට ඇවිද ගොස් තිබෙන අතර ඔහු දුටු සියලු දෙනා භීතියට පත්ව තිබේ. මේ අවස්ථාව වන විට ඔහු අධික ලෙස වෙහෙසට පත්ව සිට ඇත. බොහෝ දෙනා සිතා සිට ඇත්තේ ට්‍රැවිස් මියගොස් ඇති බවයි. ඔහු මෙසේ එක්වරම අතුරුදන් වී නැවත මතුවීම හැමදෙනාටම ගැටලුවක් වී තිබිණි.

ට්‍රැවිස් තමාට මුහුණ දීමට සිදුවූ සිදුවීම හැමදෙනාටම විස්තර කරන ලදී. නමුත් කිසිවෙක් ඔහුව විශ්වාස නොකෙරූහ. සැම දෙනාම සිතුවේ ඔහු ගොතන ලද කතාවක් පවසන බවයි. පොලිස් ඔහුව මනෝ වෛද්‍යවරයකු වෙතද ඉදිරිපත් කෙරිණි. එහිදී ද ඔහුට කිසිදු මානසික ආබාධයක් නොමැති බව තහවුරු විය. ඔහු පවසන්නේ සත්‍යද අසත්‍යද යන්න ඔප්පු කර ගැනීමට ඔහු පර්යේෂණ කිහිපයකටම ඉදිරිපත් වූ අතර එයින්ද තහවුරු වූයේ ඔහු මුසාවක් නොපවසන බවයි. ට්‍රැවිස් තම අත්දැකීම පාදක කොට ගෙන ‘ජ්ඪපඥ ඪද බඩඥ ඉඬර’ නමින් ග්‍රන්ථයක්ද රචනා කොට ඇත. ඔහු පවසා සිටින්නේ පිටසක්වළ ජීවීන් විසින් පැහැර ගත් එකම පුද්ගලයා තමා නොවන බවය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *