කාටවත් අත තියන්න බැරි කැනඩාවේ ඕක් දූපතේ සැඟවුණු අබිරහස් නිධානය

අතීතයේ ජීවත් වූ ඇතැම් ධනවතුන් මිය යෑමට පෙර තමන් සතුව තිබූ ධනස්කන්ධය කිසිවකුට සොයා ගත නොහැකි ලෙස යම් යම් ස්ථානවල සැඟවූ බව ප්‍රකට කරුණකි. මේවා නිධාන ලෙස හැඳින්වේ. අතීතයේ ජීවත් වූ රජවරු, සිටුවරු ආදීන් මෙසේ තම ධනය විවිධ ස්ථානවල නිධන් කොට ඇති බවට ලොව පුරා විවිධ තොරතුරු වාර්තා වී ඇත. බොහෝ පිරිස් මේ නිධන් ලබාගැනීමට බොහෝ පරිශ්‍රම දැරුවද ඒවා බොහෝ විට අසාර්ථක වන්නේ එම නිධන්සුරැකීමට අදෘශ්‍යමාන පුද්ගලයන්, සතුන් ඉදිරිපත් වන නිසා බව කියැවේ.

බොහෝ නිධන් ආශි්‍රතව නාගයන් සිටිනා බවත් ඔවුන් ඒවා සුරකින බවත් අසන්නට ලැබේ. එසේම මෙම නිධන් ආශි්‍රතව විවිධ අදෘශ්‍යමාන ජීවී කොට්ඨාස ඇති බවත් නිධන් ලබා ගැනීමට නම් ඔවුන්ට විවිධ බිලි පූජා පැවැත්විය යුතු බවත් ජනප්‍රවාදවල සඳහන් වේ. ලංකාවෙන්ද නිධන් පිළිබඳ විවිධ පුවත් අසන්නට ලැබෙන ඒවා ලබාගැනීමට කරන විවිධ උත්සාහයන් ගැනද වාර්තා වී ඇත.

නිධන් පිළිබඳ කතා කිරීමේදී ලොව සුප්‍රසිධ ස්ථානයක් ලෙස කැනඩාවේ දකුණු වෙරළ තීරයේ ඕක් දූපත හැඳින්විය හැකිය. සැතපුම් 3/4ක් පමණ දිගින් යුතු මෙම දූපතටම ඇත්තේ ගෙවල් දෙකක් පමණක් වන බැව් සඳහන් වේ. 18 වන ශත වර්ෂයේ පමණ සිටම එම දූපතෙන් විවිධ වර්ගයේ කාසි ඇතුළු වටිනා පුරාවස්තු හමුවූ බවට කටකතා පැතිරිණි. මේ නිසාම මේ දූපතේ කැණීම් කටයුතු කිරීමට බොහෝ දෙනා පැමිණියහ. නමුත් නොසිතූ විරූ ලෙස මෙම කැණීම් කටයුතුවලට නොයෙක් බාධා ඇති විය. කැණීම් කටයුතු කළ පුද්ගලයන් හය දෙනකු දූපත තුළම මියගොස් තිබිණි. මේ හේතුව නිසා ම‍ෙ දූපත තුළ අබිරහස් ශාපලත් වස්තුවක් සඟවා ඇති බවටද බොහෝ දෙනා අදහස් පළ කරති. 1795 වර්ෂයේදී ඩැනියෙල් මැතිනිස් නම් පුද්ගලයාට ඕක් දූපතෙන් විශාල කවාකාර පහත් බිමක් හමුවිය. ඔහු ඇතුළු පිරිස එම ස්ථානය පරීක්ෂා කිරීමේදී ඊට මීටර් 3ක් පමණ පහළින් ඕක් ලී ස්තරයක් දක්නට ලැබිණි. එයින් කියැවුණේ මීට ප්‍රථම ඒ පෙදෙස කැණීම් කර ඇති බවයි. ඔවුන් එහි කුමක් හෝ සොයා ඇති බව පැහැදිලිවම පෙනී යන බව පැවැසෙයි. මෙම දූපත අතීතයේ සිටම විවිධ පුද්ගලයන් විසි මිලදී ගෙන තිබිණි. ඔවුන් සියලු දෙනාගේම අදහස වූයේ මෙහි සඟවා ඇති නිධානය සොයා ගැනීමය. ඔවුන් මෙහි කැණීම් කටයුතු දිගටම කරගෙන ගොස් තිබිණි. කැණිම් සිදුකළ ප්‍රදේශය ‘නිධන් වළ’ ලෙස හැඳින්විණි. මෙම නිධන් වළේ ඉතා වටිනා ධන නිධානයක් තැන්පත් කර ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. එක් වරක් කැණීම් සිදුකිරීමේදී මෙතුළින් විශාල පාෂාණමය පුවරුවක් හමුවූ බව කියැවේ. එහි ලියවී තිබී ඇත්තේ අඩි 40ක් පහළින් පවුම් මිලියන දෙකක් වැළලී ඇති බවයි. තවත් සමහරුනට මේ නිධන් වළ තුළින් 17 වැනි ශත වර්ෂයට අයත් කාසි හා වික්ටෝරියා යුගයට අයත් ආභරණද හමුවී ඇත.

මින් ඉදිරියට කැණීම් කටයුතු සිදු කිරීම්වලට නොයෙක් බාධක එල්ල විය. ‍ෙදාළොස් වතාවක්ම උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වූයේ විවිධ ව්‍යසනයන්ට මුහුණදීමට සිදුවීම නිසාය. 1861 වර්ෂයේදී කැණීම් කටයුතු සිදු කරමින් සිටියදී පතල් ළිඳ හදිසියේම කඩාගෙන වැටිණි. බොහෝ දෙනා පවසන්නේ එය නිධානය ලබා ගැනීම වැළැක්වීමට ඉදි කර තිබුණු උගුලක් බවය. මෙවැනි උගුල් නිසා යමෙක් නිධානය ලබා ගැනීමට කරන උත්සාහය ව්‍යර්ථ කෙරෙනවා පමණක් නොව නිධානය තවදුරටත් පොළොව අභ්‍යන්තරයට කි¼දා බැස්සවීමටද සිදු කෙරේ. මෙම කැණීම් අතරතුර සිදුවූ ප්‍රථම මාරාන්තික අනතුර වූයේ ජලය පොම්ප කරන යන්ත්‍රයක් පුපුරා ගොස් පුද්ගලයකු මරණයට පත්වීමයි. එසේම 1965 වර්සයේදී කැණීම් ස්ථානයෙන් මතුවූ විෂ දුමක් හේතුවෙන් සේවකයන් හතර දෙනකු මරණයට පත් විය. මෙවැනි සිද්ධීන් නිසා බොහෝ දෙනා විශ්වාස කළේ ඕක් දූපතේ නිධානය යම්කිසි අඳුරු බලවේගයක් විසින් ආරක්ෂා කරන බවත් එය ලබා ගැනීමට උත්සාහ කරන අයට ශාප වන බවත්ය.

අඳුරු බලවේග මඟින් මෙතරම් ආරක්ෂා කරන මෙතරම් වටිනා නිධානය කුමක් විය හැකිදැයි බොහෝ දෙනා විවිධ අදහස් දක්වති. සමහරුන්ගේ මතය නම් 17 වැනි ශත වර්ෂයේ විසූ ප්‍රකට මුහුදු මංකොල්ලකරුවකු වූ කැප්ටන් විලියම්ගේ ධනය මෙහි නිධන් කොට ඇති බවයි. ඔහු විසින්වරක කළ ප්‍රකාශයක් මේ අදහසට හේතු වී ඇත. එනම් “මා විසින් මගේ ධනය යක්ෂයාට හා මට පමණක් සොයා ගත හැකි තැනක සැඟවූවා” යන ප්‍රකාශයයි. මුහුදු මංකොල්ලකරුවන් ඕක් දූපත ආශි්‍රතව තම ක්‍රියාකාරකම් සිදු කළ බවටද සාක්ෂි හමුවීම මේ මතය තවත් සනාථ කරන්නක් බව පැවැසේ. 1953දී බෙන් ලිරී මීට වෙනස් මතයක් ප්‍රකාශ කරමින් පවසා සිටියේ විලියම් ශේක්ෂ්පියර්ගේ සැබෑ අනන්‍යතාව තහවුරු කරන රහස් ලියකියවිලි මේ දූපතේ සඟවා ඇති බවයි. ඔහු විශ්වාස කරන පරිදි විලියම් ශේක්ෂ්පියර්ගේ කලාකෘතිවල නියම හිමිකරු ෆ්‍රැන්සිස් බේකන්ය. මේ බව තහවුරු කරන සාක්ෂි ඕක් දූපතේ සඟවා ඇති බව ඔහු විශ්වාස කරයි. මීට අමතරව මේරි ඇන්ටිනන්ටගේ රන් බඩු සහිතව ගිලුණු නැවක් මේ දූපතේ සඟවා ඇති බවත්, දිව්‍යමය බඳුන මෙහි සඟවා ඇති බවත් යනාදී විවිධ මත පළ වී ඇත. කෙසේ නමුත් ඕක් දූපතේ අබිරහස අදටත් විසඳී නොමැත.

Add a Comment

Your email address will not be published. Required fields are marked *