හොඳට නරකට දෙකට කටම ද? – හේමනලින් කරුණාරත්න

“රූපවාහිනි” සඟරාවේ 1998 ජූලි කලාපයේ ලිපියකින් උපුටාගත් සටහනක් …….

ජාතික රූපවාහිනියේ 9.05 විචිත්‍රාංගයෙන් රටම හඳුනාගත් හේමනලින් කරුණාරත්න ඉකුත් 6 – 05 වැනිදා දිවි ගමන නිමා කළේය. ජාතික රූපවාහිනියෙන්, ස්වර්ණවාහිනියට සපැමිණ දයාබර සිනහවෙන් සෙනසුරාදාව සොඳුරු කළ හේමනලින් වටම ගොස් ගෙටම කීවා සේ සිය ජිවිතයේ අවසන් කාලයේ යළි ජාතික රූපවාහිනියේ ‘හිත ළඟ හතෙන්’ සහෘද රසික සිත් රස ගැන්වීය.

නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ගීත රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, මාධ්‍ය ගුරුවරයෙක්, මාධ්‍ය කළමනාකරුවකු ලෙස අවුරුදු 56ක සිය ජීවිත ගමනේ හේමනලින් භූමිකා රැසක් නිරූපණය කළේය. මේ ජාතික රූපවාහිනිය 1988 ජූලි ප්‍රකාශයට පත් කළ ‘රූපවාහිනි’ සඟරාවට රූපවාහිනි නිවේදනය හා වැඩසටහන් නිෂ්පාදනය ගැන ලියූ කෙටි ලිපියකි. ‘සඳහස’ මෙවර එය පළ කරන්නේ හේමනලින් කරුණාරත්නයන් පිළිබඳ ගෞරවාදරයෙනි.

රූප වහනයකරන රූපවාහිනියට වචන මොටද? රූපය ප්‍රබල වන මෙම විද්‍යුත් ජනසන්නිවේදන මාධ්‍යයේ වචනවලට ඇති තැන කුමක්ද? මොනවා පෙන්නුවත් වචන නැතිව රූපයට පමණක් කළ හැකි දෙයක් නැත්ද? තියෙන හැම වචනයක්ම රූපයට ගැළපෙනවාද? කතාබහේ වචන මේ මාධ්‍යයට අදාළ නැද්ද?

රූපවාහිනිය, පුවත්, තොරතුරු නොඑසේනම් විනෝදය බෙදාදෙන්නට හවුල් කරගන්නා වැඩසටහන් වර්ග රාශියකි. රූපවාහිනි පුවත් ඇතුළු කාලීන තොරතුරු සංග්‍රහයන්ද වාර්තා හෝ සඟරා විචිත්‍රාංගයන්ද, සංගීත නැටුම්, වාදන ඇතුළත් ප්‍රසංගයන්ද ජනප්‍රිය ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට ආදියද මේ අතර වේ. මෙහැම වැඩ සටහනකම භාවිත වන වචන ගැන, රූපවාහිනිය පැලපදියම් වී හමාර ලක්බිමේ ප්‍රේක්ෂකයන්ට කීම ගහ දන්නා අයකුට කොළ කඩා පෑමක් වෙන්නත් බැරි නැත. කෙසේ වෙතත් රූපය සමඟ මුසුවන වචන ගැන ‘වචනයක්’ කීමට කැමැත්තෙමි.

‘මාළුවා නහින්නේ කට හින්දයි’ අනවශ්‍ය වචන ඇතියවුනට අසන්නන් කරන පැහැදිලි අනතුරු ඇඟවුමකි. එසේම හොඳට නරකට දෙකට කට යැයිද කියමනක් වේ. රූපය ප්‍රබල වන රූපවාහිනියෙන්ද අනවශ්‍ය වචනය යනු රූපයේ ජීවිය පමණක් නොව, එය භාවිත කරන්නාගේත් වෘත්තීයමය ආයුෂ මඳ කරවන්නකි. එහෙත් ගොළු රූමතියකගෙන් දෙසවන් ඇති මිනිසකු කොපමණ කලක් සතුටු වන්නද? එසේම රූපය සම්පූර්ණ කරවන්නට වචනයද හේතුවේ. කොටින්ම රුවට සරිලන වචනය ඊට ආභරණයකි. එහෙත් මිණිමෙවුල ඇත්තේ බෙල්ලේ පලඳින්නටත් නොවේ. තැනට සුදුසු වචන දෙඩිය යුත්තේ ඒ නිසාය. රූප මාධ්‍යයේ වචන හසුරුවන කාටත් ඊට වඩා ගැළපෙන උපදෙසක් තිබේදැයි සැක සහිතය.

කැමරාවක් ඉදිරිපිට වැඩසටහන් ඉදිරිපත් කරන්නට මෙන්ම පසුබිම් කථන විලාසයෙන්ද ප්‍රේක්ෂකයන් හමුවට එන්නට නිවේදකයෝත් කථකයෝත් වරම් ලබති. මේ බොහෝ අවස්ථාවලදී පිටපතක් ඇසුරෙන් වචන පැවසෙතත් සජීවී ඉදිරිපත් කිරීමකදී නිවේදකයාගේ වචනවල පූර්ණ වගකීම ඔහු සතුවේ. ඔහුගේ පැවැත්ම තීරණය කෙරෙන අවස්ථාවකි ඒ.
මට හැඟෙන අයුරින් නම් වැඩසටහනක නිවේදකයා අතරමැදියෙකි. තොරතුරු හා තොරතුරු ලබන්නන් අතර සිටින ඔහු සරල ප්‍රියමනාප, තේරුම් ගතහැකි අයකු විය යුත්තේ වචනවලින් පමණක්ම නොවේ. නිශ්චිත කාලයක් තුළ නියමිත තොරතුරු තමා දෙස බලා සිටින ප්‍රේක්ෂකයන්ට දීමේ වගකීම ඔහු උසුලයි. නිතර දෙවේලේ එම අවස්ථාව ලබන්නෙක් නම්, නිතර දෙවේලේ දුටු කුකුළාගේ කරමලයට වූයේ කුමක්දැයි දැන කටයුතු කිරීමද වටී.

කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවා. ඇතැම්විට අපි කෙනකුට කියමු. ඊට හේතුව ඔහු පාවිච්චි කරන බසේ හෝ වචනවල හෝ ව්‍යාකූල බවයි. ප්‍රේක්ෂකයන් එසේ කියන කල නිවේදකයනට නොඇසුණත්, බලමින් සිටි චැනලයෙන් නෙත් ඉවත් කරගන්නට එය එක හේතුවක් වේ. නොඑසේ නම් ඒ මොන හරුපයක්ද කිව්වේ යැයි තම සිතෙන් හෝ අසල සිටින්නාගෙන් හෝ සැක හැර දැනගන්නට ප්‍රේක්ෂකයෝ උත්සුක වෙති. එවිට නිවේදකයාට තවදුරටත් ප්‍රෙක්ෂක අවධානය තමා වෙත ඇද බැඳ තබාගැනීමේ හැකියාව නැතිවේ.

ආලවට්ටම් දැමීමත් විටෙක කතාබහේදී සිදුවන්නකි. කියන්නා ඉන් තෘප්තියක් ලබන්නට ඉඩ ඇතත්, දිගින් දිගට සිදුවන විට අසන්නාට හිරිහැරයක් වීම ස්වාභාවිකය. වාක්‍ය අලංකරණ, අතිශයෝක්තිය ආදිය මුද්‍රිත මාධ්‍ය සඳහා උචිත මුත්, කාලය රන් සේ වටිනා රූපවාහිනි මාධ්‍යයට එය නොගැළපෙන්නකි.

‘මහ පණ්ඩිතයෙක්’ කතාකොට ඉවත්ව යන කථිකයෙකු හෝ නිවේදකයකු හෝ ඉදිරිපත් කරන්නකු දෙස බලා කියන්නට මිනිස්සු මැළි නොවෙති. තමන් යම් විෂයයක් දත් පමණින් ඒ ගැන සියල්ල අවස්ථාව ලත් තැනදීවත් පවසන්නට නිවේදකයනට අවසරයක් ලබාදී නැත. එපමණකුදු නොව යම් කරුණක් ගැන තම මතය සීමාව ඉක්මවා කීමට හෝ අන් අය ඊට නතු කර ගැනීමට හෝ අවකාශයක් ඔවුනට නැත. නිවේදකයෙක් ‘සියල්ල දත්’ ස්වරූපය ලබනවා යනු ඔහුගේ මාධ්‍ය දිවිය කෙටි බව පවසන ලකුණකි.

අප විශේෂිත දැනුම් ලබන්නේ තව කවුරුන්ගෙන් හෝ පොත පත හා වෙනත් මාධ්‍ය ඇසුරිනි. එනිසා එම දැනුම් අපේ නොවේ. එවැන්නක් ඇසුරින් කතා කරද්දී අදාළ මූලාශ්‍රයන් ගෙනහැර දැක්වීම යුතුකමකි. නිවේදකයකුගේ නිහතමානිත්වයත්, ගුණ ගරුක බවත්,සේම ඇසූ පිරූ ඇති බව ප්‍රකට වන විට ගොඩනැඟෙන්නේ විශ්වසනීයත්වයයි. රට වට කොට වැට බැන්දත් කට වට වැට බැඳිය නොහැකිය. සාකච්ඡාවලදී හමුවන ඇතැම් මහත්වරුන් නිසා නිවේදකයෝත් අපහසුතාවලට ලක්වෙති. වැඩසටහනට නියමිත කාලයට අනුවත් අරමුණට අනුවත් ලබාගත යුතු සහ හැකි කරුණු සැමගෙන් ලබාගැනීමට සමූහ සාකච්ඡාවකදී නිවේදකයනට පැවරෙන වගකීමකි. සාකච්ඡාවට බඳුන් වන පුද්ගලයකුගේ තොරතුරු ප්‍රවාහයේ ගසා නොගොස් නිසි තැනදී වක්කඩ බැඳ මාතෘකාවට අනුව සාකච්ඡා මෙහෙයවීම ඇත්දැකීමෙන්ම ප්‍රගුණ කළ යුත්තකි. තමා දැන සිටි කරුණ කීමට නොහැකිවී යැයි සාකච්ඡාවට ලක් වූවෙක් මැසිවිලි නඟන්නට ඉඩ ඇතත් නිසි ලෙස කරුණු හෙළිකරගැනුණි. නම් ප්‍රේ්‍රක්ෂකයන්ගෙන් නිවේදක ලබන්නේ තුති මල්ය.

රූපවාහිනිය පවුලේ මධ්‍යයකි. හුදකලාව හෝ සමූහයක් වශයෙන් නරඹන රූපවාහිනියේ පෙනී සිටින නිවේදකයෝ වනාහි එදිනෙදා ගෙන් ගෙට ගොඩවන පිරිස වෙති. ඒ නිසාම ඔවුන් ඊට සුදුසුකම් සපුරාලිය යුතුමය.

සිත් දිනාගත යුතුය. එහෙත් මූණිච්චාවට නොවේ. කරුණු කිව යුතුය. එහෙත් පිරිසකට පක්ෂපාතීව නොවේ. තතු දැන සිටිය යුතුය. මන්ද ප්‍රේක්ෂකයෝ නොදන්නෝ නොවෙති. විශ්වාසය සුරැකිය යුතුය. මන්ද ඔබ දෙස බලා සිටින්නේ මහ පිරිසකි. ඉතින් ඔබ කියූ කතාවකට කටේ මසුරන් දමන්න කාට හෝ හිතුණොත්, ඔබේ වචනවල වටිනාකම ඔබටම දැනේවි.

(“රූපවාහිනි” 1998 ජූලි සඟරාවේ පළවූවකි.)

Add a Comment

Your email address will not be published. Required fields are marked *