සුභාෂිතය

සුභාෂිතය ඉතාම රසවත්ය. සුමිහිරිය. කොතරම් කියෙව්වත් ඇතිවන්නේ නැත. සිත පිනා යන, අර්ථය වැටහෙන, සැනසීම ඇතිවන, තව තවත් ධර්මයටම ආසාව ඇතිවන ලෙසින්  පුංචි  කාව්‍ය නිර්මාණයකින්  අරුත් කැටි කරගත්  අලගියවන්න මුකවෙටිතුමා විසින් රචිත  මෙම දහමි රසකාරකය    සිත, කය, වචනය හසුරුවා  ගෙන දහම් රසය විඳිමින්  ජීවිතය ගත කරන්නන්ට  උතුම් වූ ධර්ම ග්‍රන්ථයකි.

 

මෙම  කාව්‍ය ග්‍රන්ථය කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!……

 

 

01. සත වෙත පත මෙත සඟ හස සෙවි        පසිඳු

අවනත පුර මත මිණිතර සර                පුබුදු

දිගුරත ඟිලි දල පෙළ මොක්සුවඳ           රැඳු

සියපත් සිය සිය පත සියපත               නමුදු

 

සත්ත්වයන්  කෙරෙහි පැතිරුණ මෛත්‍රීය ඇති ප්‍රසිද්ධ සංඝයා නැමැති හංසයන්  විසින් ඇසුරු කළ  වැඳීම පිණිස  නැමුණු දෙවියන්ගේ , හිස් මුදුනෙහි  ඇති මැණික්වල  රශ්මිය  නැමැති  විලේ පිපිණු  දික් රතු ඇඟිලි නැමැති  පෙති පෙළින් යුතු , නිවන් නැමැති සුවඳින් රැඳුණු බුදුරදුන්ගේ  සිරිපා නැමැති පියුම වඳින්න.

 

 

02.   උතුම් දහම්  රජ මුව ගිරඟින්                 පහළ

අදම් මගින්හළ මොක් වෙරළතිනු             දුළ

නොහිම් පියුම්  නය මිණ  පද  අරුත්        රළ

සදමි සදමි  ගඟ මම මුඳුන  බැතිනි            දළ

 

උත්තම බුදුරජාණන් වහන්සේගේ  මුඛය නැමැති  පර්වතය මුදුනින් පහළ වූ, අදහම නමැති  මහා ග්‍රීෂ්මය දුරු කළ, නිවන් නැමැති වෙරළින්  බබලන , සීමාවක් නැති  සූක්ෂ්ම  ක්‍රම නැමැති  මැණික් ඇති, පදවල  අර්ථ නැමැති  රළ සහිත සද්ධර්මය නැමැති  ගංඟාව  මහත් භක්තියෙන්  මාගේ හිස මුදුනෙහි  පිහිටුවා ගනිමි.

 

03.   සියපත් සැදු බඹ සුර නර උරඟ               මත

සැරියුත් මහ මුගලන්  පිළිවෙලිනි            පත

පිළිවෙත් සරු මහ සඟනට මුනිඳු             සුත

මුඳුනත් දී බැතියෙන්  නමදිමි              සතත

 

බ්‍රහ්ම,දිව්‍ය, මනුෂ්‍ය , නාග  ආදීන්ගේ හිස් මුදුනෙහි  තම පාදයන් පිහිට වූ සැරියුත්, මහ මුගලන් පරපුරෙන්  පැවත එන, ප්‍රත්පත්තීන්ගෙන් සාරවූ, බුද්ධ පුත්‍රවූ  මහා සංඝයාට  අත් හිස්  මත්තෙහි තබා  භක්තියෙන්  යුතුව  හැම විටම  නමස්කාර කරමි.

 

 

04.    සත්  අත් තිනෙත්  සතරත් නත්          සිසිරකර

පත්මත් සවන් විඳුරන්  පුත්                තුසරකර

වත් අත් තලත්  කිවි රත්  ගත්       ගුරු     අමර

සෙත් දෙත් මෙසත් සුර සත්  සිත්  ලෙස    නිතර

 

මහා බ්‍රහ්මයා, ඊශ්වරයා, විෂ්ණු, අනන්ත නම් නාග රාජයා , චන්ද්‍රයා, සූර්යයා, ස්කන්ධ දෙවි , ශක්‍රයා, බුධ, ගණදෙවි, බල භද්‍රයා,සිකුරු, අඟහරු ,බ්‍රහස්පති යන දෙවිවරු සත්ත්වයන්ගේ  සිත්වූ පරිද්දෙන්  හැමවිට ශාන්ති දෙත්වා!

 

 

05.    පහළ පොරණ  ඉසිවර මුවෙනි         මන නද

දෙමළ සතු මගද නොහසළ  සතට            දද

පුවළ නිති  සත ගත පද අරුත්               ලෙද

සිහළ බසින් සැකවින් කියමි  පද            බැඳ

 

දෙමළ, සංකෘත,මාගධී, (පාලී)  භාෂාවන්   නූගත් මෝඩ ජනයා  සඳහා  පුරාණයේ (වූසූ) සෘෂිවරයන්ගේ  මුඛයෙන්  ප්‍රකාශය වූ සිත් තුටු කරවන මහ නීති පොත්හි  දැක්වෙන කරුණු  අර්ථවත්ව  සිංහල භාෂාවෙන්  කෙටියෙන්  කවියට නඟා කියමි.

 

06.   එබැවින් සෙබෙහි වියතුනි   ගුණ යුත්         පවර

කිරියෙන් දියර  වෙන් කළ හස  මෙන්       පතර

මවිසන් කියන මෙහි වරදක්   දුටත්             හැර

සතොසින් අසවු පදරුත් විමසා                 ගැඹර

 

එහෙයින් සභාවෙහි සිටින උතුම්  ගුණයෙන්  යුත් පඩිවරුනි, කිරෙන් (එහි) පැතිර ඇති  ජලය වෙන් කළ හංසයා මෙන්  මවිසින්  නියනු ලබන  මෙම කාව්‍යයෙහි වරදක් දුටුවත් එය අත්හැර  ගැඹුර  පදාර්ථ  විමසා  සතුටින්  අසවි.

 

 

07.   පබඳ කිවින් බැඳි කවි රසෙහි                  විසිතුරු

සබඳ  විදු දනෝ  පළ කෙරෙති               දියතුරු

නොමඳ රසින් දිවයුරු  පොබයයි              තඹුරු

සුවඳ දිගත විහිදයි  හමන  මඳ                    මරු

 

ප්‍රසිද්ධ කවියන් විසින්  බදින ලද කවිවල රසෙහි විසිතුරු  බව  හිතවත් පණ්ඩිත ජනයා  ලෝකය පුරා පතළ කරති.  සූර්යයා  බොහෝ වූ රශ්මියෙන්  නෙලුම් මල් පුබුදවයි. හමන මඳසුළඟ ඒ මල්වල  සුවඳ  දිශාවන්හි පතුරවයි.

 

 

08.    කිවිපද බැඳුමි ගුණ දොස් කිවිඳුන්ම               මිස

නැණ මද කුකවි දැනගතහොත් කවර           ලෙස

දරු ලද අඟනන් ම මිස පසුවෙති              වෙහෙස

වඳළඳ ඟනෝ දැන ගත හෙති  කවර            ලෙස

 

කවීන්ගේ කවි බැඳුම් හි හොඳ නරක  උසස් කවීන්ම විනා  නුවණ  මඳ ව්‍යාජ කවියෝ  කවර අයුරකින් දැන ගැනීමට සමත් වෙත් ද? දරුවන් ලැබූ ස්ත්‍රීන් ම  විනා , දරුවන් වැදීමේ අමාරුව දරුවන නොලබන තරුණ  ගැහැණු  කවර ආකාරයකින්  දැන ගැනීමට සමත් වෙත්ද? (දරුවන් වැදීමේ දුක දන්නෝ දරුවන් වැදු ගැහැණු පමණය. එමෙන්ම උසස් කවීහු  පමණක් කාව්‍යයක  හොඳ නරක  දැන ගිනිති. වඳ තරැණ අඟනන්හට  දරුවන් වැදීමෙහි දුක දැනීමක් නැත. එමෙන්ම කුකවියන්ටද කාව්‍යයක හොඳ නරක  ගැන දැනීමක් නැත.)

 

 

09.   උතුම් නිවන් සැප  සපයා   දෙන              හත‍

දහම් රජ සමය නොගනිති  කුදිටු              සත

නොහිමි සුවඳ විහිදෙන  සිරි රැඳි             දිමුත

පියුමි වෙනෙහි නිල මැසි කැල   නොහැසිරෙත

 

උතුමි නිවන් සැප ලබාදෙන , මහත් වූ බුදුරජාණන් වහන්සේ ගේ  දහම මිථ්‍ය දෘෂ්ටික සත්ත්වයෝ  නොපිළිගනිති. සීමාවක් නොමැතිව සුවඳ විහිදෙන සිරිය රැඳුණු (ශ්‍රී කාන්තාව වාසය කරන) බබළන නෙලුම් වනයෙහි  නිල මැසි සමූහයා නොහැසිරෙති.

 

10.   රුවන් මිල නොදත් අනුවණ  දන          වෙ‍ළෙඳ

ලොබින් කඳා මිණි මිණියයි  රැගත්            ලෙද

පසන් මුනිවරුන් හැර අන් සුරන්               වැඳ

නිවන් පතා අනුවණ සත කරති                   පුද

 

මැණීක් වල වටිනාකම නාඳුනන මෝඩ වෙළඳ ජනයා  ලෝබකමින්  වීදුරු මැණික් යැයි (සිතා)  හැරගත් ලෙසින් නුවණ නැති සත්ත්වයෝ ප්‍රසන්න බුදුවරයන්  අත්හැර දමා  අන්‍ය  දෙවිවරුන් හට වැඳ නිවන පතා පූජා කරති.

 

 

11.   නඳන මුනිඳු හැර යනු  සුරනට                පැවත

නිවන පතා අනුවණ සත  කරන                තැත

ලබන පිණිස තෙල් ලොබ වඩවමින්           සිත

මඩිනවැන්න වැලි මලු  ලමනි            තෙලියත

 

සතුට ඇති කරන  බුදුරජාණන් වහන්සේ  අත්හැර  නිවන්  ලතමින්  අනික් දෙවිවරුන් හට ගැතිවෙමින්  අඥාණ ජනතාව ගන්නා වෑයම  තෙල් ගබා ගැනීම පිණිස සිතේ ලෝබ වඩවමින්  තෙල් සිඳින  යන්ත්‍රයේ  වැලි මලු දමා මිරිකන්නා වැනිය.

 

12.   සකල සුර නරන් මුඳුනත         සෑදු           පද

විපුල මුනි සරණ හැර අන් සුරන්              වැඳ

නිමල මොක් පිණිස සත රකිනා               දුලද

දිඹුල මල නිසා  වෙහෙසෙනු  වැනි          දියැද

 

සියලු දෙවි මිනිසුන්ගේ හිස මුදුන පාදයෙන් අලංකාර  කළ උදාර  ගුණයෙන් යුතු  බුදුරජාණන් වහන්සේගේ  පිහිට අත්හැර , අන්‍ය දෙවියන් හට වැඳ පිරිසුදු  නිවන  ලබා ගැනීම සඳහා වැරදි ආගම රකින  ජනයා අත්තික්කා  මල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්  ජලය ඇඳ වෙහෙසනු වැන්න.

 

13.   පුන් පිරිසිඳු  සිල් මුල්  ගුණ   කඳින්             යුති

දන්කම නැණ කුරු මල්සා  මඩුලු                ඇති

පින් කප්තුරු සඟ මොක් පල දෙන            කැමති

මන් සුදනන් මෙත් සිලිලෙන්  වැඩෙයි         නිත

 

සමිපූර්ණයෙන්ම පිරිසුදු  වූ සිල් නැමති මුල්ද ,ගුණ නැමැති කඳ ද ,දන්දීම නැමැති  දලු ද, ඉවසීම නැමැති  මල්ද, නුවන නැමැති  අතු පතරද  ඇති කැමති වන දෙව් ලෝ සැප ,නිවන් සැප  නැමැති පල ලබාදෙන පින් කැමති කල්ප වෘක්ෂය යහපත් මිනිසුන් ගේ  සිතෙහි පවතින මෛත්‍රීය  නැමැති ජලයෙන් හැමවිට වැඩෙයි.

 

 

14.    පියකර සතර  බඹ විහරණ   සිවු              පෙදෙනි

වැර සැර ණැන යුවළ දළ දිලි දන්             සොඬිනි

පුවතර  තමුල මත වරණිඳුට                 නැඟෙමිනි

මනහර සෙත් පුරට පැමිණෙව් සව්               සතුනි

 

සියලු සත්ත්වයනි, සතර බ්‍රහ්ම විහාර නැමැති පා සතරින් පියකරු වූ වීර ගුණය  ඥාණය  නැමැති දළ දෙකක් ඇති, දන්දීම වැනි සොඬවැලින් යුත් බලවත් මහත් මත් ඇත් රජු  පිටට නැ‍ගෙමින් සිත් කලු  නිවන් පුරයට පැමිණෙවි.

 

 

15.    නිදොස් ගුණ බරණ දහම් කිරුළ               දරා

වෙසෙස් සිල් සෙනඟ  ගෙන මෙන්  තුරඟ   අරා

කෙලෙස් රුපුන් සිඳ නැණ කගිනි නොම    හැරා

සතොස් රජ සිරින්  පැමිණෙව්  නිවන්         පුර

 

නිවැරදි ගුණ නැමැති  ආභරණයත් , සද්ධර්මය නැමති ඔටුන්නත් පැළඳගෙන උතුම් සිල්  සෙනඟ පිරිවරාගෙන  මෛත්‍රීය නැමැති අසුපිට නැඟ  නුවණ නැමැති කඩුවෙන් ‍කෙලෙස් සතුරන් මුලුමනින් නසා ප්‍රීතිමත් රාජ විලාශයෙන්   නිර්වාණ පුරයට පැමිණෙව්.

 

 

16.   ඇත්ත නැතත් සුදනෙනි පරලොව             මහත

හළොත් යෙහෙකි පව් කම් නොතබාම         සිත

ඇතත් එපරලොව ඉන් වන  අවැඩ            නැත

ඇතොත් නැතැයි පව් කළ හට වෙයි          විපත

 

උතුම් සත්පුරැෂයෙනි, පරලොව ඇති වුනත්, නැති වුනත් පව්කර්ම  සිතෙන් මුලුමනින් අත්හැරීම යහපතෙකි. ඒ පරලෝකය නැති වුනත් එසේ කිරී‍මේන් සිදුවන අයහපතත් නැත. පරලොවක් ඇත්නම්  එය නැතැයි කියමින්  පව් කළ අයට  විපත් අත්වේ.

 

 

17.   නැඟෙතත් අවරගිර ඟින්  දිනකර                මඬල

පිපෙතත් ගිරි මුදුන හෙල්මැලි  පියු              මුපුල

සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත්          අනල

බොරුනැත් තෙමය  මහතුන්    පැවසූ        ‍තෙපුල

 

හිරු මඬල අපර පර්වතය මුඳුනින්  උදා වුවත්, පර්වතය මුදුනෙහි  කුමුදු, නෙලුම්, මානෙල්  පිපුණත්  සුළඟින් මහමෙර සෙලවුනත්  ගින්නෙන්  ජලය ලැබුණත් මහත්මයන් කී වචනයෙහි බොරුවක් නැත්තේමය.

 

 

18.    කොතෙක් වෙහෙස ලදුවත් සුදනෝ            පවර

උදක් ලොව සතුන්  සිත දුක්  කෙරෙති            දුර

පසක් රාහු මුව පත් වෙමිනි                     බියකර

අනික් පසින් ලොව හෙළි කෙරෙය            හිමකර

 

කොතරම් වෙ‍හෙසට ලත් වුවද උතුම්  පද්ඡනයෝ ලෝක සත්ත්වයාගේ සිතේ පවත්නා දුක් ඒකාන්තයෙන් දුරු කෙරෙති. සඳ තමාගේ  පාර්ශවයක් (පැත්තක්) බියකරු  රාහුගේ  කටට අසුව  තිබියදීත්  අනික් පාර්ශවයෙන්  ලොවට  ආලෝකය ලබා දෙයි.

 

19    පින්මඳ පුතුන් සියයක්   ලඳුවත්               නිසරු

ගුණ නැණ බෙලෙන් යුතු උතමය ඉතා         ගරු

එක පුන් සඳින් දුරුවේය ලොව ගණ           අඳුරු

නෙක තරු  රැසින් එලෙසට  නොම වේය      දුරු

 

පින් අඩු පුතුන් සියයක් ලැබුනත් පලක් නැත. ඉතා උතුම් වන්නේ ගුණයෙන්ද ,නැණයෙන්ද ,බලයෙන් ද යත් පුතාමය. ලෝකයෙහි ගන අඳුර එක පුන් සඳ නිසා දුරුවෙයි. නොයෙක් තරු රැසෙහි එළියෙන් ඒ ආකාරයට ඇඳුර දුරු   නොවේ.

 

 

20.   විපුල ගුණැති මහතුන්  හට                පත් විපත

නිසල නැණින් යුතු උතුමෝම                දුරලත

කළල ගිලුණු මත  වරණිඳු ගොඩ             ගනුත

තුමුල බලැති ගිජිදකු මිස අන්                කෙවත

 

මහත් ගුණයෙන් යුතු මහත්මයන් හට පැමිණි විපත්තිය තැනපත්  නුවණු ඇති  උත්තමයෝම දුරු කරති. මඩෙහි එරුණු මත් ඇත් රජු ගොඩ ගන්නුනට නම් මහත්  බල ඇති  ඇත් රජකු හැර  අන් කවරෙක්  සමත් වෙද?

 

 

21.   කුලුණු ගුණින් යුතු  උතුමන්  සිත            මහරද

දුදන බසින්  නොයෙදෙයි කරනට           නපුරද

නව රුවනින් පිරි මහ සමුදුර                 ගැඹුරුද

තණ සුලකින් හුණු කළ හැකි වෙයි         කවුරුද

 

කරුණා ගුණයෙන් යුතු  පිදිය යුතු  උතුමනගේ සිත් අසත්පුරුෂයන්ගේ  වචනයෙන් නපුරු කිරීමට නොහැකි වෙයි.නව රත්නයන්ගෙන් පිරුණ මහමුහුද කවුරු තණ පන්ද‍මේකින් උණු කිරීමට සමත් වෙත්ද?

 

22.   සුරතුරුවන් උතුමකු   ‍දෙන  දනින්             මිස

යදි කලිමන් කෙසෙ දුරුවෙද මුලින්             පිස

මහ මෙයකින් පහවන ගතෙහි                සරතස

පිනි බිඳකින් වැළකිය හැකිවෙද            ‍කෙලෙස

 

කප් රුකක් වැනි උත්තමයකු  දෙන දානයකින් මිස යදියන්ගේ ලොබයෙහි පිරි සිත මුලුමනින්ම කෙසේ දුරුවෙද? මහ වැස්සකින් පමණක් දුරු කළ හැකි ශරීරයේ පීඩා ගිතිය පිනි බිඳුවකින් කවර අයුරෙකින්  වැළැක්විය  හැකිවේද?

 

 

23.   දියනෙත උදාවත සිය කිරණින්                මහරු

මෙදියත දිවා බිහි දුරුවෙයි ගන                අඳුරු

සිරිමත රජතුමකු දුටු පමණින්               සොඳුරු

ඇතුළත පිටත දිව රෑ හැරෙයි                 දුක දුරු

 

සූර්යය උදාවන කල්හි ඉතා උතුම් වූ ස්වකීය සිය ගණන් රශ්මිය කරණ කොට ගෙන මේ ලෝකයෙහි දවල් කාලයේ පිටතින් පවතින දැඩි අඳුර  පහවෙයි. ශ්‍රීමත් යහපත් රජකු දුටු පමණින් දිවා රෑ දෙකෙහි ඇතුළත  පිටත පවතින දුක්ඛ නැමැති අඳුරු  දුරුවෙයි.

 

24.    පිරිවර සෙන් රකිනා  පිණිස           නිරතුරු

පෙර නියමින් නිරිඳෝ රැගනිති           පඬුරු

සිය ගුණයෙන් වසිනුව  වැසි   මෙදිය    තුරු

සිය කිරණින් දෙරණත රසගනිය           හිරු

 

පිරිවර සේනාව හැමවිට රැකගැනීම පිණිස  රජවරු  කලින් පනවා ඇති නීති අනුව  අයබදු ගනිති. ලෝකය තුල  ගුණයෙන් යුතුව  වර්ෂාව ඇති කිරීම  පිණිස  හිරු රශ්මියෙන්  පොළොවෙහි තිබෙන ජලය (උරා) ගනී.

 

 

25.    කුලුණින් ගුණෙන්  නුවණින්  පසිඳු හැම         තැන

සුදනන් සෙවුන නිරිඳෝ  ලොව්  සත            රකින

දෙඹරුන් මලින් රොන් ගෙන යන මෙන්   සෙමෙන

නියමින් අය ගනිති  සත සිත               නොතළමින

 

හැම තැන්හි කරුණායෙන්ද,ගුණයෙන්ද, නුවණින් ද  ප්‍රසිද්ධ වූ සත් පුරුෂයන්ගේ  ඇසුර ලබන ලෝක සත්ත්වයා  රකින රජවරු  මී මැස්සන්  මල්වලින්  රොන්  ගෙන යන්නාක් මෙන් මිනිසුන්ගේ  සිත නොතළමින්  නියමිත පරිදි  අයබදු හැර ගනිති.

 

26.   අමයුත් රස අහර වත් වඩවන                  ඔදස

කුසගත්  ගිනි නිවන  පමණට   බුදින       ලෙස

තෙද කිත් පතළ නිරිඳෝ නොමඳ   දන       රැස

නොකෙරෙත් ලොව සතුන්  රකිනා  විතර   මිස

ඔජස වඩවන අමෘතය වැනි රස ආහාර  වුවද කුසගින්න නිවෙන තරමට අනුභව  කරන්නාක් මෙන්  තේජසින් හා කීර්තියෙන්  ප්‍රසිද්ධ රජවරු  ලෝක සත්ත්වයා  ආරක්ෂා කිරීමට අවශ්‍ය  ප්‍රමාණයට  වඩා වැඩයෙන්  ධනය රැස් නොකෙරෙති.

27.   පැනසන නොවන නිරිඳුන් ලද  රජ            සැපත

ගොරතර නිරාදුකටත් වැඩියෙන්                විපත

තිරසර නැණිනි නරවර  ලද එම                සැපත

සුරපුර සැපතටත් සිය ගුණෙනි                යහපත

නුවණින් සරු වොන රජවරුන් ලබාගත් රජ සැපත  ඉතා දරුණු  අපා දුකටත් වඩා  විපතකි. ස්ථිර සාර  නුවණි න් යුතු රජවරුන්  බැවූ ඒ සැපතම දිව්‍ය  ලෝක  සම්පත්තියටත් වඩා  සිය ගුණයෙන් යහපත් වෙයි.

28.    බැලුමෙන් සිහි කිරීමෙන් පහසින්            නිතින

සසුනත් රකින මින් කුමු සියොතුන්         ලෙසින‍

කුලුණෙන්  ගුණ නැණින්  යුතු  උතුමෝ  සොබන

වෙසෙසින්  ලොව සතන් රැක පවතිත්     තොසින

නිතර බැලීමෙන් සිහි කිරී‍මේන්  හා ස්පර්ශයෙන්  තම දරුවන්  රක්නා  මාලුවන්  (ඉඳිඹුවන්), සියොතුන් (කුරුල්ලන්) ලෙසින් කුලුණෙන් , ගුණ නැණින්  යුතු සොබන උතුමෝ  වෙසෙසින්  ලොව සතන් (සත්ත්වයන්)  රැක යෙහෙන් පවතිත්.

29.   සමවත වැසි සුළඟ කෙත්වත් වැවෙන            මෙන

ලොව සල රැකෙති නිසි රජ  නැණැති මැති      ගෙන

එමහත නල නලින්  වන දහන වන               මෙන‍

දුසිරිත  රජ කුමැති ගෙන් නසීය               හැම තැන

වැස්ස හා  සුළඟ සමානව පවත්නා  කල කෙත් වතු (සරුවට) වැවෙන්නාක් මෙන්  සුදුසු නුවණ ඇති රජවරුන් හා මැතිවරුන්  නිසා ලෝක සත්ත්වයා ආරක්ෂා වෙති. ඒ මහත් ගින්න හා සුළඟ නිසා වනය දැවී යන්නාක් මෙන් නරක පැවතුම් ඇති රජවරුන් හා දුෂ්ඨ  ඇමතියන්  නිසා හැමතැනම විනාශයට පත්වේ.

30.   නුවණැතිතවුන් පස කොට දුදනන්             සෙවුන

නොමගත් සිත  තුළෙහි ගුණ පොකුරඹ       ලෙසින

මැදහත් නොව මසුරු ගුණයෙන්    දව          සරින

රජුටත් එරටටත් අතුරක්   නැත                වෙනින

නුවණ ඇති අය ඉවත් කොට අසත් පුරුෂයන් සේවනය කරන,  නෙලුම් කොළයෙහි ජලය මෙන් සිතෙහි ගුණ නොරඳන , මැදහත් නොවී, මසුරු ගුණෙන් යුක්තව  කල් ගෙවන රජුටත්  ඔහු වසන රටටත් (ඔහුම හැර) වෙන අන්තරායක් නැත.

31.   පැමිණෙන ලොවට බුහු නා  ගුණ  යුතු    නපුරු

මෙදියත නසිනු මිස යහපත  නොවෙ        සරු

නොනැවත යුගත පත්වූ සඳෙහි     පත්      හිරු

විකසිත නොවී දායෙයි සැමතැන           තඹුරු

ලෝකයට නපුරු ගුණ ඇති  නායකයන් වැඩි ගණනක් ඇතිවූ කල්හි මෙ ලෝකය  විනාශ වනු මිසක් කිසිත් සරු යහපතක් සිදු නොවෙයි. යුගය කෙළවරදී සත්හිරු නොකඩවා පායන්නට වූ කල්හි සියලු තන්හි නෙලුම් මල් නොපිපී පිළිස්සී යයි.

32.   රුඳුරු  ගිනි කඳක්  ගත් සඳෙහි               වනතුරු

මිතුරු වේය දිගතින් හමන මඳ                    මරු

මිතුරු නැසීමට එම  නෙයි                  පස මිතුරු

මිතුරු නෑ කෙනෙක්   නිවතුන් හට            කවුරු

වනාන්තරයේ ‍රෞද්‍රවූ ගිනි කඳක්  හටගත් කල්හි  දිශාන්තයෙන්  හමන සුළඟ (ඒ ගින්න සමග) මිතුරු වෙයි. ඒ සුළඟම  පහන නිවීමෙන්  (ඊට) සතුරු වෙයි. දුප්පතුන් හට මිතුරු වන හෝ නෑ වන හෝ අය කවරහුද?

33.    සුගත් බණ ඇසූ සව්  සතුනිණ                නැවත

අනුන් කිරීමට තොප සිතෙහි  ඇත             නැත

ඇතොත් මඳක්වත්  පර වැඩටත්              එ සිත‍

ක අත් සැපක්  නොම වෙද මොක් පුර       සැපත

 

බුදු බණ ඇසුවාවු නුවණැති  සියලු සත්ත්වයෙනි (අනුන්හට)  අයහපතක්   කිරීමට තොප සිත්හි  උත්සාහය ඇත්තේය. අනුන්හට යහපත සැලසීම පිණිසත් ඒ සිත ටිකක් වත්  මෙහෙයවතොත් කවරකුගේ  අතට නිවන්සැප අත් නොවෙද?

34.    බලැත්තවුන් හට බන් වෙරෙහි          නොනැවත

විපත් පැමිණියත් ඉන් කිසි  නිඟා               නැත

මහත් විදුරු ගිරි බිතකට වැඳ                    අනුත

සුනත් දළ ඇතුට ලොව  අපහසෙක්            නැත

බලවතුන්හට නොකඩවා කරනු ලැබූ  වෛරයෙහිදී  විපතක් අත්වුවත්  ඉන් කිසි නින්දාවක්  නොපැමිණෙ. විශාල වජ්‍ර පර්වතකයට  ඇන දළ බිදී  ගියත් ඇතාට ලෝකයෙන් ලැබෙන  අපහාසයක් නැත්තේය.

35.    නපුරු කලට සතහට පැමිණෙන                වෙහෙස

එදුරු නොවෙයි කළ පවි පල දෙවා                   මිස

තඹුරු වනය මුකුලිත වන බව                       සවස

කවුරු විසින්  වැළකිය හැකි මෙදිය                  කුස

අසුබ කලට සත්ත්වයාට දුක් කරදර පැමිණෙ විට කරනු ලැබඉටූ වැරදි වලට විපාක දී මිසක් ඒ (දුක්කම් කටොලු) දුරු නොවෙයි. සවස් කල නෙලුම් වනය හැකි ල යෑම මෙ ලෝකයෙහි කවරෙකු විසින් නැවැත්විය හැකිද?

36.   කරදර දුදන පිරිසිඳ දතුවද                        සතර

ගොරතර සපුන් විලසින්  කට මිණි           ලකර

නරවර සඳුන් තුර වලදමිනි   හැම               වර

පරනට බියම මිස අම දෙති      කවර          වර

කුරිරැ  සත්පුරුෂයෝ ශාස්ත්‍රය කෙළවරටම  දැන සිටියත් කණ්ඨ  මාණික්‍යෙයන් අලංකාර වූ ඉතා දරුණ  සර්පයන්  මෙන් හැමවිට රජ නමැති සඳුන් රැක වෙලාගෙන අනුන්හට  බිය ම මිස කිසි කලෙක යහපතක් සලසත්ද?

37.   උදක් සමින් පිඹලූ පමණින්                     බැරම

පසක් ලොහොම දා අලු වෙයි  වෙන        වෙනම

දුකක් පැමිණ ගුණවත්  දනලූ                    සුසුම

වගක් නසනු විසිතුරු කොට කියනු              කිම

හුදෙක් මයින හමින් පිඹලූ තරමින් තරමින් ඉතා බර ඇති ලෝහ ජාති පහක්ම වෙන් වෙන්ව පිලිස්සී අලු වී යයි. දුකකට පත්ව ගුණවත් ජනයා  හෙලූ හුස්මෙන් මුලු වගක් විනාශ වන බව විස්තර කොට කියන්නේ කුමකටද?

38.    තුල සිය දිවි පුරුදුව විසුවද                     නොමඳ

දුලගුණ සුදනන් ගෙ  නොදනිති  දනෝ            දඳ

විල වැඩි මැඬිහු  නෙදනිති  පියුමෙහි            සුවඳ

වල බිඟු එ මුවරඳ  ගෙන මත්ව දෙති             නඳ

තමාගේ ජීවිතය මෙන් බොහෝ සෙයින්  ඇසුරු කළත් මෝඩ මිනිස්සු සද්ජනයන්ගේ උසස් ගුණ නොදනිති. විලෙහි  වැඩුණු මැඬියෝ  නෙලුම් මලෙහි සුවඳ නොදනිති. (එහෙත් ) වනයෙහි වසන මී මැස්සෝ  ඒ මල්වල  පැණි උරා බී මත් ව නාද කරති.

39.   කුරිරු  ගොර සපුන්ගේ  දළගෙහි             විසය

මදුරු මැසි කැලන් ගේ තුඩගෙහි             විසය

රුදුරු නුහුසුවන්ගේ වලගෙහි                 විසය

නපුරු දුදනන්ගේ සියල‍ගෙහිම               විසය

කූර වූ  ඝෝර සර්පයන්ගේ දළ කෙළවර විෂ වෙයි.මදුරු මැසි සමූහයන්ගේ තුඩ කෙළවර විෂ වෙයි.  රෞද්‍ර වූ ගෝනුස්සන්ගේ  වලිගය අග  විෂ වෙයි. එහෙත්  නපුරු දුර්ජනයන්ගේ  මුලු ශරීරරෙයහිම විෂ වෙයි.

40.    පරසිඳු පබු දන්  සෙව් පමණින්               මහරු

බෙලනිඳු  මඳ වුවත්  නොකරති   රුපුන්      සරු

බරනිඳු ගෙල වසන නාරද   වෙමින්            ගරු

ගුරුළිඳු අතින් ඇසි කිම  යහලු           තොරතුරු

උසස් ගුණාංග වලින් හෙබි සත් පුරුෂයෝ ආශ්‍රය කළ පමණින්ම දුලබයෝ තමන් බලවත් යැයි සිතති. ඊශ්වරයාගේ  බෙලෙනි  වසන නාග රාජයා  ඊශ්වර බලයෙන් උදම් වී ගුරුලාගෙන් සැප දුක කෙසේදැයි ඇසීය.

41.    සතතින්  පවන් අඹ කොළ  බුදින              තවසර

දැහැනින්  මිදේ දුට ලෙළ  දෙන ලිය             තඹර

බුදිමින්  යමකු කිරි තෙල් දී       රස              අහර

ඉඳුරන් දමන සිඳු ඉපිලෙව්  මඳර                     ගිර

සෑම කල්හිම  සුළඟ, වතුර , වෘක්ෂලතා, පත්‍ර ආහාරයට ගනිමින් ජීවත් වන තාපසයා, නාරිලතා  මල් දුටු  පමණින් දැහැන බිඳ ගනියි. යම්කිසි පුද්ගලයෙකු  කිරි, ගිතෙල්, දී කිරි  ආදී වූ රසවත් ආහාර  කමින්  ඉන්ද්‍රියයන්  දමනය කර ගතහොත්  ඒ කාර්යය මහාමෙරු පර්වතය මහා මුදෙහි කිරීමක් වැන්න.

42.    කුස ඔත සිය සොහොයුරු   වුවද              තම හට

හිත නැති යෙහෙ දුරු කළ  පොකුරඹ          ලෙසට

තම ගත වා පිත්සේම කිපෙනුය                   මරුට

වන ගත ඔසු වග හිතවෙයි   සුව                  පතට

තමාගේ එක කුසයේ උපන්  සහෝදරයකු වුවද, හිතවත්කමක් නොවන්නේ නම් ඔහුව නෙලුම් කොලයේ දිය බිඳු  නොරැදෙන ලෙස ඉවත් කළ යුතුය. තමාගේ සිරුරෙහි  ඇති වාතය , පිත, සෙම උත්සන්න වූ විට මරණ්‍ය පවා සිදුවිය හැක. නමුත් එම රෝග සුව කිරීමට වනයේ වැඩෙන ඖෂධ  වර්ග හිතවත් වෙයි.

43.    පරසතු  දෙයක් උදුරන ලෙසට   කර     ලොල

වෙර දුදනන්  පැවසූ නෙක  බොරු       තෙපුල

තිරසර මහතුන්ගේ  සිත නොරඳයි         නිමල

සුරතුර විමන  වෙද රිටුනට  කවර           කල

අසත්පුරුෂ දුර්ජනයන්  අන් සන්තක දෙයක් ලබා ගැනීම සඳහා  බොරු වචන පැවසුවද ඥාණවන්ත පුද්ගලයන් ඒවා අසා සිත අසතුටට පත් නොගනී. ඒ කෙ‍සේද යත්, කල්ප වෘක්ෂය  කාක්කන්ට කවර කාලයකවත්  වාසස්ථානයක් නොවන නිසයි.

44.    සත් ගුණ යුත් සතන් හට වැඩ කළොත්          සරු

අත්පිට දියුණුවම    පලදේය                   නිරතුරු

වත්කළ දිය නෙරලු තුරු මුලට                 පියකරු

දෙත් මුදුනෙන් පල රැස රැගෙන                අමයුරු

උතුම් ගුණයෙන් යුතු ජනයාට යහපතක් වූ සිතින් කරන්නාවූ වැඩ වලට එවලේම දෙගුණයක්  කොට එයට උපකාර කරයි. පොල් ගසක් මුලට ජලය දැමූ කල ගස එම ජලය උරාගෙන  ගස මුදුනෙන්  අමුර්තයක් වැනි ඵල රසව දරයි.

45.    නැණැති දනන්හට මද ගුණයක්                 කළද

පවති ගල කෙටූ අකුරක් මෙන්                  නිබඳ

විමති දන් හට කළ කිසිගුණ                   නොමඳ

එනැති වේය දිය පිට ඇඳි ඉරක්                   ලෙද

ඉතා උසස් ගුණාංග වලින් හෙබි ජනයාට පොඩි හොඳක් කළත්  එය ගලේ කෙටු අකුරක් මෙන්  අමතක නොකරයි.  නමුත් මෝඩ ජනයාට විශාල හොඳක්  කළද, එය දිය පිට ඇඳි  ඉරක් ලෙස ෂ්ණයකින් අමතක කර දමයි.

46.    අමිත ගුණ නුවණ යුතු උතුමෝ                පබඳ

අනත වෙහෙස ලදුවත්  නොම වෙති           දුහඳ

දිගත පතළ සුවදැති සොඳ සඳුන්                 කඳ

සිඳිත මඩිත එක ලෙස   පැතිරෙයි              සුවඳ

අප්‍රමාණ ගුණයෙන්  හා නුවණින්  යුත්  සුප්‍රසිද්ධ උතුමෝ කෙළවරක් නැති හිරිහැර වලට මුහුණ පෑවද, නපුරු හිතක් ඇති  කර නොගනිති. ඉමිහිරි සුවඳින්  යුතු  සඳුන් කඳ කපන විටත් කුඩු කරන විටත් එක විදියටම සුවඳ  පතුරවයි.

47.    බුදුන් දහම් සඟනට නොකෙළද                අදර

නිවන් දකින පිනකුත්  නොකෙළෙද          පවර

ලියන් තන නොසිපියෙද සිහිනෙන්           විතර‍

උපන් මව යොවුන් වනයට  පොරෝ          යුර

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට ආදරය නොකළද, නිවන් දැකීමට තරම් බලගතු පුණ්‍ය කර්මයක් නොකළද සිහිනෙන් හෝ ස්ත්‍රීන්ගේ පයෝධර  අත නොගෑවද, ඒ  තැනැත්තා  ලෝකයට තමන් බිහිකළ මවගේ තරුණ මව නැමති වනයට පොරොවක් වැනිය.

48.    ‍නොමදත් අයෙකු ගැඹුරින් යුත් සඳ          සතර

පදරුත් වියකම්  යි සලකනු    සබය           තුර‍

මද මත් තුඟු මහතක් ගජිදකු                    ළතර

සියපත් නළ හුයින් බඳිඅනෙව්   කරණ       වැර

පද්‍යයන්හි නියම ශබ්ද අර්ථයන් නොදන්නා තැනැත්තෙකුට  සභාවක් මැදට ගොස්  පද්‍යයන්ගේ අර්ථයන් විස්තර කීමට නොහැකිය.  ඒ කෙසේද  යත්, විශාල ප්‍රචන්ඩ ඇත් රජෙකු නෙලුම දඩු නූලෙන් බැඳ තබා ගැනීමට නොහැකිසේය.

49.     කොතෙක් ගුණ කළත් දුදනන් හට          අසුබ

අතක් පමණවත් නෙකෙරෙති   පිරිය       ලොබ

එඋක් රසෙහි සැදුවත්    සෙමින්              කිරඹ‍

උදක් තිත්තමය ගැබ පස තුරෙහි               නිඹ

අයහපත් අසත්පුරැෂයන්හට කොයිතරම් හොඳ කළත් ඔවුහු සුලු වශයෙන් පමණවත් එයට ප්‍රති උපකාරයක් නොකරති. උක් පැණිවල බහා  කිරි හා ජලය  වත්කර  කොහොඹ ඇටයක්  පැල කළත් කොහොඹ ගසෙහි පස් පංගුවම තනිකර තිත්තමය.

50.    සඳුන් කපුරු සමඟින් පිනිදිය               නොමඳ

සොඳින්  කලල් කරමින්  සුවඳ  මුව             මඳ

නිතින් හිමඹ ඉස ඉස ලුහුනු                    වැවුවද

තමන් ගුණ නොහරී එම වැනි   දුදන             හද

සඳුන් කපුරු හා සුවඳ කස්තුරිද  එකතු කර පිනිදිය බොහෝ ප්‍රමාණයක්  සමඟ  මිශ්‍රකර එයත් සමඟ  හිම දිය ඉසිමින් වැවුවද , ලුණුවල ගුණය අත් නොහැරේ.  අසත් පුරැෂයාගේ හදවතද එබඳුය.

 

51.    සමඟින දුදන සත සහ වනු බදිනු               වෙර

නොයෙදෙන කරුණුමය සුදනන් හට         පවර

ගිනිගෙන දිලි අඟු ගත් කල  දවයි               කර

නිවි තැන රැගත් ගොත් කලු වේය       නොවිතර

අසත් පුරුෂයන් සමඟ මිත්‍රවීමෙන් වෛර බැඳීමත් යන දෙකම උතුම් වැදගත්  අයට සුදුසු නොවේ. ගිනිගෙන දිලිසෙන අඟුරු  ඇල්ලූවිට අත පිච්චෙයි. නිවුණ විට ඇල්ලුවහොත්  අත කලු පාට වේ.

52.    පතර දුදන අනදර සුදන  අදර                     ද

අවර දිනුඳු සේ ලෙස වැඩි වෙයි නිබ             ද

අදර අනදර දපිළිවෙළී නොවු                    හද

ළහිරු සේ වැන්න අඩු වන    මදින්            මද

අසත් පුරුෂයන්ගේ  අහිතවත් කමද, සත් පුරුෂයන්ගේ හිතවත්කමද බැස යන හිරුගේ සෙවනැල්ල මෙන් නොකඩවා වැඩිවෙයි. ඔවුන්ගේ  හදවතෙහි හිත හා අහිත පිළිවෙලින් ටිකින් ටික අඩුවන උදැසන ළපටි සෙවනැලි බදුය.

53.    තමන් හට නොමසයන් වත කලට             සම

මුවින් නොබැදුණු ඉවසණු සුදන ගර          කම

නොමින් කුමුදු වන විකසිත වනු දැක    දැක   ම

විළින් මෙන් තඹුරු මුකුලිත වේය              හැම

මෝඩ ජනයා උසස් ගුණාංගවලින් හීන වුවද සත් පුරුෂයන් සමග සමානව සිටින කළ උතුම් ගුණ ඇති මහතුන් කථා බහක් නැතිව ඉවසා දරා තමන්ගේ ගරු නම්බුව රැක ගනි. එය කුමුදු මල් පිපෙනු බලා නෙළුම් මල් ලැජ්ජාවෙන් මෙන් හැකිලි යනවාක් වැනිය.

54.    මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ                     ඇත

නිදොස් කෙනෙකු  ‍මෙ දියත උපදනේ                නැත

වෙසක් සිනිදු මුවරද බර සහස්                            පත

කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි              යුත

සියලු සත්ත්වයන් තුළ හොද මෙන්ම නරක ගුණද ඇත්තේය.  වැරදි නැති පුද්ගලයකු මෙලොව උපදින්නේ නැත. ඉතා මට සිලිටි මල් පැණියෙන් බර වු නෙළුම් මල කටු සහිත ගොරහැඩි දණ්ඩකින් යුක්ත වේ.

55.  සිතමින් උඩගු බව සතකුට තම              කෙරෙති

සැපතින් ඉදිමි සලකා නෙක දුක්                 විදිති

පතමින් දිවි රැකුම් රණ මැද වැද              නැසෙති

එබැවින් සෙබළු වැනි දද දන වෙනින්           නැති

ආඩම්බරකම සිතට අරගෙන සත්වයකුට නමස්කාර කරති. සැපයේ ජිවත් වෙමියි සිතා නොයෙක් දුක් විදිති. ජිවිතය රැක ගැනිමේ බලාපොරොත්තුවෙන් යුද්ධ භුමිය මැදට පැමිණ විනාශයට පැමිණෙති. ඒ නිසා යුධ භටයන් වැනි මෝඩ ජනයෝ තවත් නොසිටිති.

56.    කුලයෙන් උනු දනෝ මහතුන් සෙවුම්           කොට

ඉසුරින් යුතුව පැමිණෙත් ගරු                   තනතුරට

වෙසෙසින් කුසුම් ගෙතුමෙන් සුමුසු රඹ              පට

සතොසින් සැපත් වේ නිරිදුන්                    මුදුනතට

කුල නම්බුව අතින් පරිහානියට පැමිණි ජනයා උතුම් ගුණයෙන් යුතු අය ආශ්‍රයකොට සැප සම්පත් යස ඉසුරුවලින් යුතුව ගරු කටයුතු තනතුරුවලට පත් වෙති. මල් ගෙතිම සදහා යොදා ගන්නා කෙසෙල් පට්ටය රජවවරුන්ගේ හිත මතට සතුටින් සම්ප්‍රාප්ත වේ.

57.    පබද පබද කිවිදු ද යුදෙහි සෙබඑ                   ද

පැහැද සුරති කෙළිනා වර වරගන                  ද

කිවද තොතා යන බස්  පෙරදැරි                සුහද

වරද නොව අසන් නිරිදෝ               වඩිමිනොද

ප්‍රබන්ධ ලිවිමෙහි කිර්තියට හා ප්‍රසිද්ධියට පත් වු කවින්ද යුධ බිමෙහි යුද සෙබළුන්ද සතුටට පත් වි කාම ක්‍රිඩාවේ යෙදෙන විට විනෝදකාමි ස්ත්‍රින්ද ආදරය මුල් කොට තෝ තා යන වචන පැවසුවද රජවරු උදහස් නොවි, කැමැත්ත තව තවත් වැඩි කරමින් අසති.

58.    සුදන ගුණෙන් යුතු උතුමන් ගෙ              පියකරු

අබිමතෙකින් වු රොස නො කළ හැකි             දුරු

සිහිල් ගුණෙන් යුතු දිය දහර                   පිවිතුරු

මිටි මගෙකින් යන කළ නවතති                කවුරු

උත්තම ගුණයෙන් යුතු පුරුෂයන් සිතාමතා ඇතිකරගත් කෝපය දුරු කළ නොහැකිය. පිරිසිදු සීතල දිය දහරක් පහත් මගෙකින් ගලා බැසිම කාටනම් නැවතිය හැකිද ?

59.    සුරපුර සැප සපයන පින් නොම                 කරති

අරතර අවා බිය දෙදන පවම කර                  ලති

පැනසර නොවු ලොව නරයන් ගේ              සිරිති

කිරිහැර මර එළවන ගොර විසම                බොති

දෙව්ලොව සැප ලබාදෙන පිංකම් නොකරති. භයංකර වු අපා බිය දෙන පව්ම කරති. ඒ ලෝකයේ වෙසෙන මෝඩ ජනයාගේ සිරිතයි. ඔවුහු කිරි නොබි මරණය ළගා කරවන දරුණු විෂ පානය කරති.

60.   ලොවින් එකෙක් එක් දෙයකට වෙයි             සමත

වෙනින් අනික් දෙයකට අනෙකෙක්             සමත

නොමින් සුළග ලදුව්ත තද ගිම්                   සැපත

ගොඩින් නැව දියෙන් රථය ද නොයනු          ඇත

ලෝකයෙහි එක් තැනැත්තෙක් එක් දෙයකට දක්ෂ වෙයි. තවත් කෙනෙකු වෙනත් දෙයකට සමත් වන්නේය. ඉතා තදින් හුළග හැමුවද තද ග්‍රිස්මයක් ඇති වුවද නැව ගොඩබිමින්වත් රථය ජලයෙන් වත් ගමන් නොකරති.

61.   මුදුවට සිනිදු වෙඞරු ද සුදනන්                        හදද

සරිකොට කිවත් කිවි දන නොම වෙයි එ          ලෙද

පරනට තැවුල් වත උණුවෙයි සුදන                  හද

එලෙසට උණු නොවේ එබැවින් වෙඞරු            තද

ඉතා සිනිදු වු වෙඞරු (ගිතෙල්) උතුම් පුරුෂයන්ගේ හදවතට සමාන කර කවියන් දැක්වුවත් ඒ එසේ නොවේ. අනුන්හට කරදරයක් ඇති වු විට සත් පුරුෂයන්ගේ හදවතට වඩා වෙඞරු තදය.

62.   නොහිමි සුවද විහිදෙන කස්තුරි                    නිමල

උතුම් මුව නැබෙහි තැබී බනැණ                  විකල

විනම් මෙමට මහ බඹු පදවි යම්                     කළ

තබමි බොරු කියන දුදන්ගේ දිව                     මුල

ඉතා සුවදවත් වු පිරිසිදු වු කස්තුරි මහා බ්‍රහ්මයා විසින් උතුම් වු මුවන්ගේ පෙකනියේ සිහි නුවණ විකල් විමෙන් දෝ තැම්පත් කොට ඇත. යම් කාලයක මට මහා බ්‍රහ්ම පදවිය ලැබුණොත් එම කස්තුරි බොරු බස් කියන අසත්පුරුෂයන්ගේ දිව මුලෙහි තබමි.

63.   අබරණ සමග සිටි පිරිවර ද තම                       වෙත

නොදෙරණ නැත යෙදුවොත් නොම වේ            දිමුත

කොපමණ රජ ඉසුරු ලදුවත් මුළු                     දියත

සිළුමිණ සරණ බද හොත් අපහස                    කරත

තමා සතු ආභරණත් පිරිවර සේනාවක් සුදුසු නොවන ස්ථානවල තැබුව හොත් එහි කිසිදු වැදගත්කමක් නොවේ. තුන් ලෝකයේම රජ සම්පත්තිය කෙනෙකුට ලැබුණත් ඒ රජු චුඩා මාණික්‍යය පයෙහි පැළදුව හොත් ඔහුට අනිත් අය අපහාස කරති.

64.    නොවිතර තෙද බලැති මහතුන් හට              පවර

වැරසැර මද නුවණ දන බදිනු                       වෙර

තුගුතර ගිරි පළන දළ දළගින්                     පැහැර

මතවර නිරිදුට පෙදෙනැ වෙහෙන                    යුර

ප්‍රමාණයක් මැන දැක්විය නොහැකි තරම් වු තේජසින් හා බලයෙන් යුතු උතුම් සත් පුරුෂයන් හට ඉතා අලස මෝඩ අසත් පුරුෂ ජනයා වෛර බැදිම, ඉතා දැඩි ගල්කදු දළ පහරින් විනාශ කරන්නා වු මත් වු ඇත් රජෙකුට පයින් පහරදි වෙහෙස ගන්නාක් වැනිය.

65.    තිරසර ගුණෙන් යුතු මහතකු හට                    පවර

සුමුදුර සියල් කිදලෙක තුඹසෙක                  සුනෙර

පුවතර මේ දඹදිව මළුවෙක සිය                  ගෙදොර

ඔහුකර නොවන සැපතක් එබැවින්                  කවර

උත්තම වු නොසෙල්වෙන නුවණින් යුතු සත් පුරුෂයෙකු හට මුලු මහත් මුහුදම කුඩා දිය වලකි. මහා මේරු පර්වතය තුඹසෙකි. ලෝක ප්‍රසිද්ධ වු දඹදිවම තමාගේ ගෙදර මිදුල වැනිය. එසේ වු ඔහුගේ අතට පත් නොවන සැප සම්පතක් කවරේද?

66.   නොපනත් අය අනත අහසෙව් නැත                නියම

එමහත් බැවින් වනසනු නො යෙදේ             සැවොම

තමසිත් තුළෙහි වෙර නැසුවොත්              නොතබාම

වැනසෙත් ඔවුන් හැම දිය වන් ගිනි                  සේම

නීතිගරුක නොවන අය කෙළවරක් නැති අහස මෙන් ගණන් නැත. ඔවුනගේ සංඛ්‍යාව ඉතා විශාල නිසා සියලු දෙනාම විනාශ කළ නොහැක. තමාගේ සිතේ වෛරය ඉතිරි නොකරම විනාශ කලහොත් ඔවුන් සියලු දෙනාම ජලයට අසුවු ගින්න මෙන් විනාශයට පැමිණෙති.

67.   වනකල සතුන් හට සිරි සැපත මන             කල

කසපල තුළෙහි දිය ලොද මෙන් වෙයි       විපුල

යනකල එසිරි සම්පත් වැනසී                  සියල

ගජගල ඇතුළ මද සුන් දිවුලු පළ                තුල

ලෝක ජනයා හට සිත සතුටු කරන සැප සම්පත් ලැබෙන කළට කුරුම්බා ගෙඩිය තුළ ජලය හා ලොද මෙන් එය ප්‍රමාණයෙන් විශාල වේ. ඒ සියලු සැප සම්පත් නැතිවි යන කල්හි ඒවා ඇතා ගිලින ලද දිවුල් ගෙඩි වල මදය නැති වෙන්නාක් මෙන් නැතිව යයි.

68.    මහත් දනවතුන් ඇති ව ද සුදන                   ගෙන

ගනිත් තමන් කටයුතු නිරිදෝ                     නිතින

ඇතත් කෙළ ගණන් රැස් කළ දන             නොමින

බලත් ලොහො ද පණ තල ගෙනතම             වුවන

විශාල ධනවතුන් සිටියත් රජවරු නිතරම උතුම් පුරුෂයන්ගෙන් තම කටයුතු ඉටුකරවා ගනිති. කෝටි ගණන් ධනය රැස් කළ තිබුණත් ලෝහ කණ්නාඩියෙන් තම මුහුණ බලති.

69.   මදයෙන් මත් මතග කුඹු තල                 පිරිමදිති

විසයෙන් දැඩි උරග තෙලෙහි                  පළදිති

මෙලෙසින් අසිරිමත් විසිතුරු සත          කෙරෙති

එමදින් රජුනටත් සේවය කර                 රැකෙති

මදයෙන් මත් වු ඇත් රජුගේ කුම්හස්ථලය අතගාති. දරුණු විෂ සහිත සර්පයින් කරෙහි දමා ගනිති. මේ ආකාරයෙන් ජනයා පුදුම සහගත නොයෙක් දේ කරති. ඒ මදිවට සමහරු රජවරුන්ටත් සේවය කර දිවි රැක ගනිති.

70.   විහිදු තුරු සෙනග පිරිවර යුතු                    නොමින

සිනිදු අමා කිරණින් ලොව                      බබුළුවන

තරිදු දිනිදු හමු වත නොදිලෙන                  ලෙසින‍

කෙබදු කෙනෙක් ලුහු නොම වෙති අන්          සදන

බොහෝ සේ විහිදි ගියා වු තරු නැමැති සේනාටෙන් යුතු සිනිදු වු අමෘත රශ්මියෙන් ලෝකය බබලන සද, හිරු ඉදිරියේ බබලන්නේ නැතුවා මෙන් කවර නම් කෙනෙකු වුවද අන් කෙනෙකුගේ නිවසෙහිදි හෑල්ලුවට පත් නොවෙද්ද?

71.   කලුන් මැද්ද සබ අබතුර බොහො සෙ                නිති

ලෙසින් විදුලි දිලි කග පත් ලෙළ                කෙරෙති

කගින් කග පහර වැද නැගි පුලිගු                      ඇති

සටන බිම සි ගත් සෙබළෝ දුලබ                    වෙති

ස්ත්‍රින් සමුහයක් මැදද සභාවක් ඇතුළතද නිරන්තරයෙන් දිලිසෙන්නා වු කඩු ළෙල දෙවති. එහෙත් කඩුවෙන් කඩුව ගැටි ගිනි පුපුරු නගින සටන් බිමට ගොස් කඩුවෙන් සටන්කරන යුද භටයෝ දුර්ලභ වෙති.

72.   මෙලොවින් පරලොවින් වන අවැඩ නොම           දැන

සිරිතින් ලොව නැවතී නැණ බල මද                  දුදන

දෙකුලෙන් යුතුව උපනත් සක කිරි                 ලෙසින

කුසුමෙන් උපන් පණු වැනි පෙර කළ                පවින

මේ ලෝකයෙන්ද පරලොවින්ද වන්නා වු අයහපත නොදැන ලෝක චාරිත්‍රයට අනුව නොහැසිරෙන මෝඩ අනුවණ අසත් පුරුෂයෝ සක් ගෙඩියෙහි වත් කළ කිරිමෙන්, මාපිය දෙදෙනා උසස් කුලයේ වුවද උපදින්නා පෙර කළ අකුසල කර්ම නිසා මලෙන් ඉපැදු පණුවන් වැනි වෙති.

73.   නෙකවත් ඇතත් මෙතෙකැයි යන පමණ          නැති

ලොබසින් වෙමින් ඉල්ලනු දිළිදුන්                 සිරිති

දළනෙත් නියුතු මෙහෙසුරු පුවතර                තෙදැති

ජරපත් මහලු ගොන් වාහනයෙන්                    සරති

අප්‍රමාණ වු වස්තු ඇතත් ලෝහ සිතින් තව තවත් ඉල්ලා සිටීම දුප්පතුන්ගේ සිරිතයි. ප්‍රසිද්ධ වු තේජස් ඇති නළලෙහි ඇති ඊශ්වර දෙවියෝ ජරාවට ගිය මහලුගොන් වාහනයක සක්මන් කරති.

74.    සසොබන මහතුනට වත් නොමද            ගරුතර

දිනදින පුරුදු වීමෙන් කෙරෙති                 අනදර

නොමදින සුවද විහිදෙන සොද සදුන්             හර

හිමවන් වසන වැදි අගනෝ කෙරෙති             දර

ඉතා උතුම් ගුණයෙන් යුතු මහත්වරුන්ට වුවද දිනපතා හුරු පුරුදු වීම නිසා අගෞරව කරති. ඉතා සුවද විහිදුවන සදුන් අරටුවව හිමාල වනයේ වාසය කරන වැදි ස්ත්‍රීන් දර පිණිස ගනිති.

75.    වතින් බතින් බුලතින් සියලු                   සැපතිනි

නිතින් විදින පහසින් රසමුසු                      බසිනි

කතුන් සිත් ගනිමි යමෙකකු                    කෙවැනි

දැලින් සුළං බදනට තැත් කරනු                    වැනි

වස්ත්‍රෙයන්ද, ආහාරයෙන්ද බුලතින්ද සියලු සැප සම්පත්වලින්ද නිතර විදින ස්පර්ශයෙන්ද මිහිරි වචනවලින්ද කාන්තාවකගේ සිත ගැනිමට කෙනෙකු සිතන්නේ නම් එය දැළකින් සුළං බැදිමට උත්සාහ කිරිම වැනි අසාර්ථක වෑයමකි.

76.   අමරස වන් අඹ රස බුදිමින්                   සිනිදු

නිති ගෙ උයන් පෙදෙසෙහි සරමින්          පසිදු

එක පැහැයෙන් ඉදිතත් කොවුලනට           බදු

නද පමණින් දැනගත හැකි රිටුන්               ඉදු

අමෘතය බදු රසයෙන් යුතු මිහිරි අඹ භක්ති විදිමින් ප්‍රසිද්ධ වු ගෙවතුවල නිතරම හැසිරෙන කෝකිලයනට සමාන වු පැහැයෙන් සිටියත්, නාදයෙන් කාක්කන් ඒකාන්තයෙන්ම දැනගත හැක්කේය.

 

77.   විසුවත් දුදන සහ සුදනන් රැගෙන                   සරු

නැණවත් රජතුමෝ ඔවුනට දෙති                ඉසුරු

විසයුත් ගොර උරග කට රැදි මිණි                මහරු

සලසත් රුවන් කිරුළග රුවනට                සොදුරු

අසත් පුරුෂයන් සමග වාසය කළත් සත් පුරුෂයන් තෝරාගෙන සිහිබුද්ධියෙන් උසස් රජවරු ඔවුනට නොයෙක් සැප සම්පත් දෙති. දරුණු විෂයෙන් යුත් නාගයන්ගේ උගුරෙහි රැදුන අගනා මැණික තමන්ගේ ඔටුන්නේ මුදුන් මැණික ලෙස රජවරු යොදා ගනිති.

78.    පසන් සුදන දිමට වන බව                     අලස

ලබන්නවුන් පෙර කළ පවෙහි                 දොස

තමන් මුව විසුළු වු බව පෙනෙනු               මිස

වෙනිත් කවර වරදද නිසි දපණ                  පස

උතුම් ගුණයෙන් යුතු පුරුෂයන් හට දෙන දෙය ලබන අය පෙර ආත්මභවයේ කළ පාපයක වරදකි. හොද කණ්ණාඩියකින් තමාගේ මුහුණෙහි විකාර ස්වරුපය පෙන්වනවා මිස අන් කවර වරදක්ද?

79.   කෙරෙත් යුද උනුන් එළු ගව ගවර               රළ

කියත් මියුරු රස තෙපුල් සුව සැළලිහිණි     කැළ

දෙතොත් යමකු යදි කලිමන් දුර හැර             ළ

වියත්කමුත් විකුමුත් ඔහුමය                  නැබළ

එළුවෝ, ගවයෝ, කුළු හරක් උන් උන්ම පොර වදිති. ගිරවුද සැළලිහිණියෝද මිහිරි වචන කියති. එහෙයින් යම් පුද්ගලයෙක් යාචකයන්ගේ ලෝභ සිත නැතිකර දමන්නේ නම් ඔහු සැබෑ උගත් ක්‍රියාශිලි පුද්ගලයකු වන්නේය.

80.    සපෙක් එකකු වැ නසිනේ ඔහුම                    වද

අනෙක් ලොවින් නො නැසෙයි සතෙකුත් එක   ද

පසක් දුදන පවු කන මුව ළං කළ                       ද

වගක් නැසෙයි වැනසෙයි එ මතු ද ඔහු               ද

සර්පයෙක් එක් තැනැත්තෙකුට දෂ්ට කළේ නම් ඉන් මැරෙන්නේ ඔහු ම නොවේද? ලෝකයේ වෙනත් සත්වයෙක් ඉන් මැරෙන්නේ නැත. සත්‍ය වශයෙන්ම අසත් පුරුෂයෙකු උසස් උත්තමයන් හට කේලාම් කීමෙන් මුලු වර්ගයාම විනාශ වේ. අන්තිමේදී අසත් පුරුෂයාද විනාශයට පත් වේ.

81.    නොමින් ලොව නොයෙක් දේ පෙනෙනා        ඇසට

තමන් සැටි මදක් වත් නොපෙනන                ලෙසට

අනුන් දොස දකිති අනුවණ දන                      කපට

එමෙන් සිය නුගුණ නොදකිති නියම              කොට

ප්‍රමාණයක් මැන දැක්විය නොහැකි ලෝකයෙහි ඇති සියලු දේ දකින ඇසට තමන්ගේ ස්වභාවය මදක්වත් නොපෙනේ. කපටි මෝඩ ජනයා අනුන්ගේ වැරදි දුටුවද ඒ ලෙසටම තමන්ගේ අගුණ නියම අන්දමින් නොදකිති.

82.    සලපය තරිදු හිම රැස වෙය හිම              ගිරිදු

කරඹය මුහුදු දිළිදුව ඇවිදියි                   කිවිදු

කිසිදෙය මෙ බදු උවදුරු දැරුවේය            රුදු

මෙතෙදිය පසිදු අපවග මය               සුපිරිසිදු

සඳ ලපයකින් යුක්ත වේ. හිමාල කදු පර්වතය හිම රාශියකින් යුක්ත වෙයි. මුහුද කරදියෙන් යුතුයි. උසස් කවියා දිළිදුය. උසස් දේය, මෙ අකාරයට කරදර වලට මුහුණ පායි.මේ තුන් ලෝකයෙහිම අතිශයින් පිරිසිදු යයි ප්‍රසිද්ධ වුයේ නිර්වාණ සැප පමණි.

83.    මැදගත් සුදනන් ගේ  විතරණ   ගුණැති           සොඳ

මැදහත් වුව ගනිති ළිඳ  දිය මෙන්                  පැහැද

නොපණත් ගුණැති දුදනන්ගේ   දන නොම            ඳ

නොගනිත් යදි දනෝ කරදිය  මෙන්                 මුහුද

යහපත් ත්‍යාගශීලි ගුණයෙන් යුතු  මධ්‍යස්ථ උතුම් පුරුෂයන්ගේ ලැබෙනා දෙය  ස්වල්ප වූවත් යාචකයා  ළිඳෙහි  ජලය මෙන් පැහැදුනු  සිතින් යුතුව  ඔවුන්ගෙන්  ගනිති.  නරක ගති ගුණයෙන්  යුතු  අසත් පුරුෂයන්ගේ ලැබෙන දෙය  විශාල විශාල වුවද  මුහුදේ කරදිය මෙන්  යාචකයා නොගනිති.

84.    දිගුන් සුදු   කරන සඳ  අම රසින්                     යුත‍

සසන් නෙහැරිනෙවි කප් හිමි  තමා                   ගත

අනුන් සැපට සුදනෝ නෙක  තැත්                 කරත

තමන් වැඩ පිණිස මඳකුත්   නො   වෙහෙසෙ        ත

මුලු ලෝකයම එළිය කරන සඳ තමාගේ ශරීරයෙහි හාවාගේ ලපය කල්පාන්තය දක්වා  අත් නොහරින්නාක් මෙන් සුදනෝ  අන් අයගේ සැප පිණිස නොයෙක් වැඩ කරති. තමන්ගේ යහපත පිණිස  නම ස්වල්ප වශයෙන්  වත් වෙහෙස නොවෙයි.

85.    වනත් නොයෙක් ගං හෝ ඇළ   කඳුරු             පැන

මහත් ගැඹුරු සිඳු නොයනෙව්    වෙරළ             පැන

ලදත් යම් මුලු  දඹදිව   රජ    සිරි                     සුදන

සිරිත් ලෙසට පවතී    උඩ ඟු                    නොවමින

නොයෙක් ගංඟා, ඇළ දො ළ වල  ජලය ගලා ආවත් මහත් ගැඹුරු  සාගරය වෙරළට උඩින් ගලා නොයන සේ තමන් හට මුලු  ජමිබු ද්වීපයේ රාජ සමිපත්තිය ලැබුණත් උතුමි සත් පුරුෂයෝ  අහංකාර නොවී සාමාන්‍ය  ලෙස ජීවත් වෙති.

86.    පැනසර නොවන සත  නිති  සුදනන්              පැහැර

කරදර  දුදන සමඟව වෙසෙති   හැම                    වර

මනහර ගජ කූඹින් මුතු දිමුතු        මුතු               හැර

උර සරසන  වැන්  උණිදැට    ගෙන                සබැර

මෝඩ ජනයා නිරන්තරයෙන්ම උතුම් පුරුෂයන්  හැර දමා සැම විටම හිරිහැර  ගෙනෙන  අසත් පුරුෂයන් සමගම වාසය කෙරෙති.  එය ඇතුන්ගේ කුමබස්තලයෙන් වැටුණු  බැබළෙන මුතු ඇට  අහකට දමා  වැඳි ජනයා  ඔළිඳ ඇට වලින්  තම උර පෙදෙස අලංකාර කර ගන්නාක් වැන්න.

87.    සොඳුරු  ගුණ නුවණ යුතු  උතුමෝ          පතර

නපුරු දුදන සහ එක් වුව  වෙති                 අසර

රුදුරු  කටු පහණ  නැති   සමතල             හසර

අඳුර සමඟ  වූ කල   වේය                     බියකර

ප්‍රඥාවන්ත  සත්ගුණවත්  පුරුෂයෝ නපුරු අසත් පුරුෂයෝ සමඟ එකතු වුවහොත්  සාර නොවෙති. ඉතා නපුරු වූ දැඩි වූ කටු සහ ගල් නැති සමතලා වූ මාර්ගය අන්ධකාරය සමඟ එක්වූ කල භයංකර වේ.

88.    තරසර ගුණැති සුදනෝ පර වැඩ                  නැතිද

වරසුර පුරෙහි වත් නොවසති    නිරය              ලෙද

ගොරතර නිරෙහි වත් පරනට වැඩ   ඇති              ද

සුපුර ලෙසට හැසිරෙත් සුවසේ                      නිබඳ

නොසෙල්වන ගුණයෙන් යුතු  සත් පුරුෂයේ අනුන්නට යහපතක් නොවේ නම්  උතුම් දිව්‍ය ලෝකය වුවද  නරකාදිය ලෙස සලකා වාසය කරති. අනුනට යම් වැඩක් වේ නම් භයානක නරකාදියෙහි වුවද දිව්‍ය ලෝකය මෙන් සිතා සැපසේ හැසිරෙති.

89.    පහනින් පහන් සිය ගණක්   ඇවිලුව                ද

එපහන් සිළෙහි මුලු අඩු නොව  දිලෙන         ලෙද

ලොව අන් සතුන් ගුණ පළ කරමින්            නිබඳ

සුපසන් ගුණෙන් වැජඹෙති  සුදනෝ            පවඳ

එක පහනින්  තබත් පහන් සිය ගණනක් දැල් වුවද ඒ පහන් දැලෙහි ආලෝකය අඩු නොවන්නා සේ ප්‍රසිද්ධ උතුම්  පුරුෂයෝ නිරතුවම ලෝකයේ අනෙක් ජනයාගේ හොඳ කියමින්  ඉතා ප්‍රසන්න ගුණයෙන් අන්‍යයන් අතර වැජඹෙති.

90.   ගජකුම් බිඳින එකසර  කෙසරිඳු                 බලැති

කොතරම් ඝන වුවත්  තණ  කබල            නුබුදිති

විහිඟුම් කුලෙන  යුතු උතුමෝ              අබිමනැති

දිවිහිමි  කොටත් නොතරම්  කම් නොම    කෙරෙති

ඇත් රාජයන්ගේ කුම්බස්තල වුවද බිඳිය හැකි  කේශර සිංහයෝ කොයිතරම් ඉඩගිනි වුවද, තණකොළ  ආහැරයට නොගනිති.උසස් කුලයෙන්  යුතු අභිමානවත් සත් පුරුෂයෝ ජීවිතාන්තය දක්වා තමන්ට තරම් නොවන  වැඩ නොකරති.

91.   බලයුත් තුමුල මත වරනිඳු මෙදෙ                    නැවිස

දිවෙතත් සෙද තමන් සොඬ  නොමඬින             විලස

ලදුවත් නැණැති දන මුලු ලොව   ඉසුරු               රැස

නොපනත් දෙයක් නොකරති නිසි දේම               මිස

මහත් බලවත් මත් හස්ති  රාජයා මදයෙන් කලබලයට පත්ව ඉක්මන් කොට දිවුවද,තම හොඬවැල නොපාගන්නාක් මෙන් නුවණැත්තෝ මුලු ලෝකයෙහි සමිපත් සියල්ල ලැබුනුත් තමන් හට තරම් වන දේම මිස නොගැළපෙන දෙයක් නොකෙරෙති.

92.   පසක් මුනිඳු සමයම නො  ගෙන                  සුනිමල

අනික් කුදිටු ගෙන ‍ලොව් සත ණැන               විකල

එමොක් පුරට පැමිණෙන යම් කල                  එකල

අඳෙක් දැක් හෙයි මින් පදය                       නුබතල

බුදුන් වහන්සේගේ ඉතා නිමල වූ ආගම අදහන්නේ  නැතිව සිහිය විකල් වූ ආකාරයෙන් අනිත් මිත්‍යා දෘෂ්ටිකයක් අදහමින් ඒ නිර්වාන සැපට යම් කාලයක  පැමිණියහොත් ඒ කලට අන්ධ මිනිසෙකුටද අහසෙහි මාලුන්ගේ පාදයක් දැකීමට සමත් වෙ.

93.   නඳන ගුණ නුවණ යුතු    උතුමෝ           මහත

නොගෙන කිසි කරුණු සත සුවපත්          කරත

ලෙළෙන සා මඬුලු යුතු තුරු   පෙළ          දිමුත

යනෙන සත සතපමින්   ගිමිදුර               හරිත

අනුන්ගේ සිත සුව පිණිස සිටිනා නුවණින් යුතු සත් පුරුෂයෝ  කිසිම කරුණක්  නොසලකා  ජනයා සුවපත් කරයි. අතු පතර  විහිදී ගියා වූ ගස් සමූහය යන එන  ජනයා සතප්පවමින් ග්‍රීෂ්මය  දුරු කරති.

94.    ඉසුරින් රුවින්  සරි අය    වෙසෙතත්           නොමඳ

කුලුණින් ලොව රකින එක් උතුමෙකි               පබඳ

මැඬියන් බුදින නා කැල   ඇතිවද                   විස ද

දරමින් දෙරණ  සිටිනේ   නත නා ම                වෙද

සියලු සැප සම්පත් වලින්ද රුපයෙන්ද සමාන අය  බොහෝ සිටියත්  කරුණා ගුණයෙන්  යුතුව ලෝකය රකින්නේ ප්‍රසිද්ධ  වූ එක්  උත්තමයෙකි. ගෙම්බන් කන විෂ නාගයන්  කොතෙක් සිටයත් මහා පොළොව  උසුලන්නේ  අනන්ත නම් වූ නාග රාජයා පමණයි.

95.    තැන තැන නිදන් කොට  නොතබා     හැම       දිනම

කව බොව යදිනහට දන් දෙව වඩා                   පෙම

මිහි බැඳි බිඟුන්  හට වන ලෙස   දැක               දැකම

තව තව ලොබින් දන රුසිකොට      තබනු          කිම

මුලු මහත් වස්තුවම තැන් තැන්වල රැස් කොට නොතබා  දිනපතා කන්න. බොන්න. හිතේ කැමැත්තෙන්ම යාචකයන් හට දන් දෙන්න. මී බඳින මීමැස්සන් හට වන දෙය දැක දැකත්  තවත් ලෝභයෙන්  වස්තුව රැස්කොට තබන්නේ කුමක් පිණිසද?

96.   නිතින් දුදන සමඟව   සුදන      විසුව               ද

පසන් ගුණෙන් ලොව සත හට   වෙති       සුහ  ද

රිටුන්   විමන ඇති වුණ    කොවුලන්ගෙ       නද

අසන්නවුන්  යුග සවනට      මිහිරි               වඳ

නිතරම අසත්පුරුෂයන්  සමඟ වාසය කළද, සත් පුරුෂ ජනයා  ප්‍රසන්න  ගුණයෙන්  ලෝක ජනයාහට හිතවත් වෙති.  කපුටු කූඩුවෙහි  හැඳුණු කොවුලන්ගේ  හඬ අසා  සිටින  අයගේ  කන් දෙකට ප්‍රිය ජනක වෙයි.

97.   නොමින් මහ පිනැතියෙකු  පසිඳු    මෙදි           යත‍

කුලෙන් අඩුව උපතත් ලොව නැණති               සත

තොසින් අදර බුහුමන්   වඩමින්                     සුදත

මඬින්  උපන් ඉඳුවර  පළදිනෙවි                     මත

ලෝක ප්‍රසිද්ධ අප්‍රමාණ පින් ඇති වාසනාවන්ත තැනැත්තෙකු කුලයෙන් අඩුව උපත් ලැබුවද ලෝකයෙහි ඥාණවන්ත ජනයා සතුටු සිතින්  යුතුව ආදර ගෞරව  කරති. එය ම‍ඩෙහි  පිපුණු මානෙල් මල් හිසෙහි  පළදින්නාක් වැනිය.

98.    නෙක රජ සිරින් සුරිඳුට   සිය ගුණෙන්            වැඩි

රුපු රජ ගජන්  එකසර කෙසර     ලෙස            මැඬි

දින රජ කුල  පහ ග බැඳි මහඟු  රන්             කොඩි

සිරිරජ සිහ රජුගෙ සිරි පද  සෙවන                  වැඩි

අප්‍රමාණ වූ රාජ සැපයෙන් ශක්‍රයාට සියක් ගුණයෙන්  වැඩි වූ සතුරු  රජුන් නමැති  ඇතුන්  තනිව හැසිරෙන කේසර සිංහ රජෙකු  මෙන්  හීලෑ කල සූර්ය වංශය නමැති ප්‍රසාදය මුදුනේ  බැන්දා වූ රන් කොඩියක්  හා සමාන වූ ශ්‍රී රාජසිහ රජතුමාගේ සිරිපා සෙවණෙහි  වැඩුණු ,

99.   විජමි  පෙළ සයුර  සයුර  මොක්               වෙරළතින

සියුම් නිල තලෙන්  ගත කුඹුයොත්                  සිරින

උතුම් හිස්වැල්ල නම් ගම හිමි                      සොබන

දහම් දජ නමැති පඬිවර    හට                         නඳන

නිවන නැමැති වෙරළින් සෑදුනා වූ  අභිධර්ම පාළිය නැමැති සාගරය ,තීක්ෂණ වූ නුවණින් යුතු  අගස්ති  ඝෘෂිවරයා  මෙන් වටහා ගත්තා වූ උතුම් හිස්වැල්ල නම් ගමට නායක වූ යහපත් ධර්මධිවජ  නමැති පඬිවරයාණන්  හට පුත්‍ර වූ,

100.  නිති සුපයන්න සරසවි  රැඳි  මුව                     තඹර

කවි ගජබින්න කළ එකසර    කෙසර                  යුර

අලගියවන්න මුකවෙටි නැමැති                    කිවියර

යුතු පදසන්න මෙකව  කළෙය                     අමයුර

ඉතා ප්‍රසන්න මුඛය නැමැති නෙලුම් මලෙහි නිරතුරුවම සරස්වතිය රැඳුනා වූ කවීන් නැමැති ඇතුන්  තනිව හැසිරෙන සිංහයෙකු මෙන් මැඬ පැවැත්වූ  අලගියවන්න මුකවෙටි  නමි වූ කවියා පදයෙන්  හා ඒවාට  දෙන ලද තේරුමෙන් යුතු  අමෘතයක් බඳු වූ මේ කාව්‍යය කළේය.

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *