පෘතුගාලයට ආසන්න ගැඹුරු මුහුදෙන් මතු වුණේ ජුරාසික් යුගයට අයත් අද්භූත සත්ත්වයෙක්ද?

අමුතු මෝරා

ලෝකය පුරා විවිධ ප්‍රදේශවලින් වරින් වර අත්භූත සතුන් ප්‍රදර්ශනය වන බවට වාර්තා වේ. ස්කොට්ලන්තයේ ලොච් නෙස් විලෙන් වරින් වර දර්ශනය වන අද්භූත සතකු ගැන තොරතුරු විටින් විට දැනගැනීමට ලැබේ. “ලොච් නෙස් විලේ මෘගයා” එසේ නැත්නම් “නෙසී” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ සත්ත්වයා ස්වරූපයෙන් ප්‍රාග් ඓතිහසික යුගයේ ජීවත්වූ ඩයිනෝසර් විශේෂයකට සමානකම් දක්වන බව සඳහන් වේ.

හිමාල කඳු ආශ්‍රිතව ජීවත් වනවා යැයි සැලකෙන “යෙටී” නමින් හඳුන්වන වානර මිනිසාද තවත් එවැනි සත්ත්වයෙකි. ප්‍රාග් ඓතිහාසික මිනිසකුගේ ස්වරූපය ගන්නා “යෙටී” මිනිසුන්ගෙන් සැඟව සිටීමට උත්සාහ ගන්නා සතකු ලෙස සැලකේ. හිමාලය කඳු ආශ්‍රිත ප්‍රදේශ වන නේපලය, භූතානය, ටිබෙටය යන රටවල වැසියන් මෙවැනි සත්ත්වයකු සැබැවින්ම අප්‍රකටව වෙසෙතැයි විශ්වාස කරති. මෙවැනි සතුන් අතරට වර්තමානයේ අලුතින්ම එක්ව ඇති සත්ත්වයා වනුයේ ගැඹුරු මුහුදු පත්ලේ ජීවත් වන ජුරාසික් යුගයට අයත් යැයි සැලකෙන රැලි මෝරා නමැති සත්ත්වයාය. ජුරාසික් යුගයේ ජීවත් වූ සෑම සතකුම පාහේ වඳවී ගොස් ඇති තත්ත්වයක් තුළ මේ සත්ත්වයා සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වීම විශ්මයකැයි සැලකේ.

පෘතුගාලයට ආසන්න ගැඹුරු මුහුදින් සොයාගත් මීටර් 1 1/2ක් පමණ දිග මෙම මෝරාගේ විශේෂත්වය වනුයේ ඉදිරිපසින් බලන විට ඩයිනසෝරයකුගේ මෙන් හිසකින්ද සර්පයකුගේ මෙන් ශරීරයකින්ද යුතු වීමයි. බැලූ බැල්මට මේ සත්ත්වයා සර්පයකු මෙන් පෙනුණද විද්‍යාඥයන් පවසන්නේ මේ සත්ත්වයා උරගයකු නොව ජුරාසික් යුගයේ ජීවත් වූ බවට පොසිල මගින් තහවුරු වූ රැලි මෝරා නම් සත්ත්වයා බවයි. මෙම සත්ත්වයාගේ මුඛයේ දත් 300ක් ඇති අතර එය පොසිල මඟින් හමුවූ සත්ත්වයාට නිවැරැදිව සමාන වේ. මීට වසර කීපයකට පෙර ජපානයේ ධීවරයන් පිරිසකටද මේ වර්ගයේ සතකු හමුවී තිබූ අතර ගොඩබිමට ගෙන ඒමෙන් පැය කීපයකට පසු එම සතා ජීවිතක්ෂයට පත්වී තිබේ. එම ජුරාසික් මෝරා ගේ සිරුර ජපානයේ මින් මැඳුරක මේ වන විට තැන්පත් කර ඇත. මෙම සත්ත්වයා පිළිබඳ විද්‍යාඥයන් පවසන්නේ මේ මෝරාගෙන් පරිණාමය වූ වෙනත් ජීවීන්ද මේ වන විට ලොව පුරා මුහුදු ප්‍රදේශවල සිටින බවයි. කෙසේ නමුත් මේ සොයා ගනු ලැබූ රැලි මෝරා කිසිදු පරිණාමයකට භාජන නොවූ ජුරාසික් යුගයේ සිටි සත්ත්වයාම බව විද්‍යාඥයින් මේ වන විට තහවුරු කර තිබේ. මේ අනුව පෙනී යන්නේ මිනිසාට ළඟා වීමට නොහැකි ගැඹුරු සාගර ප්‍රදේශයන්වල ජුරාසික් යුගයේ සත්ත්වයන් තවමත් ජීවත් වන බවයි.

මිනිස් ඇසට නොපෙනෙන අබිරහස් ගොන්නක් ගැඹුරු සාගරය මඟින් සඟවාගෙන සිටින බව මේ අනුව පැහැදිලි වේ. ගැඹුරු සාගර පත්ලේ ජීවත් වෙතැයි සැලකෙන දියකිඳුරියන් පිළිබඳ අබිරහසද තවත් එවැනිම ලෝකයාගෙන් සැඟවුණු කතා පුවතකි. ඉතා අෑත යුගවල ජීවත් වූවා යැයි සාහිත්‍යයේ සඳහන් වන දියකිඳුරියන් සමහර නැවියන්ට අදටද දක්නට ලැබෙන බව සඳහන්ය. මොවුන්ගේ වාසභවන වනුයේද මිනිස් පහසින් කිලිටි නොවූ ගැඹුරු මුහුදු පත්ල බව විශ්වාස කෙරේ. ගැඹුරු මුහුදු පත්ලෙන් ගොඩට ගත හොත් මේ සත්ත්වයන්ට ජීවිතය පවත්වාගෙන යෑම අපහසු වන බව පැවැසේ. ජපානයෙන් හමුවූ ජුරාසික් මෝරාට මුහුණදීමට සිදුවූයේ එම අභාග්‍යසම්පන්න ඉරණමටයි. කෙසේ නමුත් පෘතුගාලයෙන් හමුවූ මෝරාට එම ඛේදනීය ඉරණම අත් නොවීමට විද්‍යාඥයන් මේ වන විට පියවර රාශියක් ගෙන ඇත. මෙම මත්ස්‍යයා හමුවූ ගැඹුරු සාගර කලාපයේ තවත් එවැනිම ජුරාසික් යුගයට අයත් සත්ත්වයන් ජීවත්විය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

අප මින් ඉහත සඳහන් කළ ස්කොට්ලන්තයේ ලොච් නෙස් විලෙන් මතු වන නෙසි නමැති සත්ත්වයා ද රැලි මෝරකු විය හැකි බවට මේ වන විට මත ඉදිරිපත් වේ. ඩයිනෝසරයකුට සමාන හිසකින්ද සර්ප ශරීරයකින්ද යුතු බව කියන නෙසීගේ ලක්‍ෂණ ද රැලි මෝරාට බොහෝ සේ සමාන වීම ඊට හේතුවයි. කෙසේ නමුත් නෙසී නමැති සත්ත්වයා ප්‍රමාණයෙන් රැලි මෝරාට වඩා විශාල බව පැවැසේ. පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් පුරා විහිද යන්නේ සාගරයයි. සමහර ස්ථානවල සාගර පත්ල අතිශයින්ම ගැඹුරුය. මේ හේතුව නිසාම සාගර පත්ල ගවේෂණය කර නිමාවක් දැකීමට කිසිදා මිනිසාට හැකියාවක් නොලැබෙනු ඇත. මේ නිසා මිනිස් ඇසට මුවා වී සාගර පත්ලේ තවත් මෙවැනි ජුරාසික් යුගයට අයත් සතුන් සිටී යැයි බොහෝදෙනාගේ අදහස් වී තිබේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *