ඉතිහාසයෙන් සඟවා තබන දුටුගැමුණු මහ රජුගේ සැබෑ ඓතිහාසික පුවත

දුටුගැමුණු මහරජතුමා සිංහල ජාතිය පවතින තුරු අමතක නොවන චරිතයකි. අදත් බොහෝ දෙනා රුවන්වැලි සෑය පැදකුණු කොට බුදුන් වැඳ, මහ සෑය දෙසට වැඳ වැටී සිටින සේ නිම කළ දුටුගැමුණු ප්‍රතිමාවට වඳින්නේ ගෞරව කරන්නේ ඒ නිසාය. ඇතැමුන් දුටුගැමුණු රජු ජාතිවාදියකු ලෙස වත්මනේ පවතින වාර්ගික ගැටලුවක මනෝභාවයන් හා බැඳී එකී චරිතයේ සැබෑව පවා යටපත් කරවන දීන උත්සාහයකද නිරතව සිටිති.

එහෙත් ඓතිහාසිකව දුටුගැමුණු රජු සිටි බවත් මහා සටන් දිනා අනුරාධපුරය රාජධානිය කරගෙන රට එක්සේසත් කළ බවත් සාහිත්‍යමය මූලාශ්‍ර, සෙල්ලිපි, ලෙන් ලිපි ඇතුළු දක්‍ෂිණ ථූපයෙන් සොයා ගත් භස්මාවශේෂයන් සමඟද අද ඔප්පු වී හමාරය. ඒවා සාක්ෂි සහිතය.

ඒ නිසාම සැබැවින්ම දුටුගැමුණු රජුගේ පරපුර ගැන විවිධ මතිමතාන්තර තිබුණත් එහි සැබෑව පැහැදිලිව දැක්විය යුතුය. වංශ කතා සීරුවෙන් විමසා බලද්දී දුටුගැමුණු කුමරු ඉපදී තිබෙන්නේ එළාර රජු ලක්දිව අත්පත් කර ගෙන ගත වූ පළමු රාජ්‍ය වර්ෂයේදීය. ඒ අනුව එළාරගේ ප්‍රථම රාජ්‍ය වර්ෂයේදී ඔහු රට අල්ලා ගත් මොහොතේ වූ නිසා බලගතු සේනාවක් හෝ ආරක්‍ෂක දැලක් අනුරාධපුරයේ තිබෙන්නට බැරිය. විහාර මහා දේවියගේ ‍ෙදාළදුක සංසිඳවීම සඳහා කාවන්තිස්ස රජු එළාරගේ ප්‍රධානතම යෝධයාගේ හිස සිඳින ලද කඩුව දෙවූ ජලය හිස මත සිට පානය කරවන්නට ගෙන එන්නැයි අණ කරන්නේ ඒ නිසා විය යුතුය.

මහා වංශය ඇතුළු ග්‍රන්ථ කිහිපයකම එම විස්තරය විචිත්‍රවත්ව සටහන් වී ඇත. එහෙත් සද්ධර්මාලංකාර කතුවරයා වඩාත් හොඳින් එය පැහැදිලි කරන්නේ මෙසේය.

“ඒ වෙලෙහි වේළුසුමන තෙම රජ්ජුරුවන්ගේ බස් ගිවිස මාගමින් නික්ම අනුරාධපුරයට වැද ඒ දවස්ම ගොස් දෙමළ එළාර රජ්ජුරුවන් මඟුලසුරක්නා අශ්වාචාර්ය හා මිත්‍රව, ඔහු කරන සියල්ල තෙමේම කොට නැවතත් අස්සලයා තමාට නොවෙනස් බැව් දැන එක් දවසක් උදෑසන මානෙල් මල් කෙතින් මල් කඩාගෙන කොළොම්ඔය සමීපයේ මලුත් කඩුවත් සඟවා තබා කිසිකෙනකුන් සමීපයේ බයක් සැකක් නැතිව එළාර රජුගේ මඟුලසු පිටට පැන නැඟී තමාගේ යෝධ නම් අස්වලා “සූරෙක් මා අල්ලා ගනුව!”යි කියා අශ්ව වේගයෙන් නික්මිණි. ඒ ඇසූ දෙමළ රජ වේළුසුමනයන් ගන්නා පිණිස දෙවැනි අසු දී “උෟ වහා ගනුව” යි සමු දින. ඒ වෙලෙහි වෙල්දෙව නම් දෙමළ යෝධයා රජ්ජුරුවන් වැඳ සමුගෙන අසුපිටට පැන නැඟී අශ්ව වේගයෙන් ඔහු හඹා දිවීය. ඒ වෙලෙහි වේළුසුමන තමා පසු පසෙහි හඹා දිවෙන දෙමළ යෝධයා දැක කැලයක් මුවාව ගෙන අසුපිට හිඳ උෟ වේගයෙන් දිවන්නවුනට කඩුව හරස් කොට පා උගේ හිස කපා අසුපිට තබාගෙන උන්ගෙන අසුත් හැරගෙන, ඒ දවස් සවස් වේලෙහි මාගමට ගොස් වන”
කෙසේ වෙතත් මෙවැනි ‍ෙදාළදුකක් විහාර මහා දේවියට උපන්නේ ද එය කෙසේ හෝ සංසිඳවීම සඳහා කාවන්තිස්ස රජුට ද යම් අධිකාරි බලයක් හා උපායශීලී උත්සාහයක් සඳහා යෙදවිය හැකි බලගතු පිරිසක් සිටි බව මින් පැහැදිලිය.

මෙම ‍ෙදාළදුක පිළිබඳව නිමිති පළ කරන්නාගෙන් තොරතුරු දැන කාවන්තිස්ස රජු සතුටු වූ අයුරුත් එහිදී ගැමුණු කුමරුන්ගේ ස්වභාවය කවරෙක් ද යන්නත් වංශ කතාවල විස්තර කෙරෙන්නේ වීර කාව්‍යයක වීරයකු පහළ වෙද්දී එම උපත සුවිශේෂ එකක් ලෙස දකිමිනි. රාජ කුලයෙහි මහත් ආනන්දයක් ඇති වූ බවත් කුමරු උපත සිදුවූ විට අසිරිමත් සිදුවීම් කිහිපයක්ම සිදුවූ බවට දැක්වීමෙන් එය පැහැදිලිය.

මහාවංශයට අනුව රන් ආදිය පිරි නැව් පැමිණියේ යැයි ද සථූප වංශයට අනුව මෙදින රුවන්පිරි නැව් හතක් තොටට පැමිණි බවත්, හිමාලයෙහි ඡද්දන්ත විලෙන් එක් ඇලි ඇතින්නක් පැමිණ ඇත් පැටවකු හෝ තෙර දමා ගිය බවත්, රන් වළං පිරි නැවක් තොටට පැමිණි බවත් කියැවේ. රසවාහිනියට සහ සද්ධර්ම රත්නාලංකාරයට අනුව ඇත් පැටවා උපෝසථ කුලයට අයත් වූ බවත් කියැවේ. එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට වලාහක අශ්ව කුලයෙන් වෙළඹක් පැමිණ ගෝණගමදී පැටියකු ප්‍රසූත කළ බවත් පට පිළි ආදිය පිරුණු නැව් සැටක් ගොළු මුහුදට පැමිණ ඇති බවත් උතුරු වඩමන් පව්වේ රාජ මානයෙන් සොළොස් කිරියක තල් ක¼ද සා රන් පැළ නැඟී ඇති බවත් කියැවේ.

වංසකතාකරුවා ගැමුණු රජුට මහ සටනේදී සුවිශේෂ වන කණ්ඩුල නම් ඇත් රජුත්, දීඝහුණී නම් වෙළඹත් මුල් කරගෙන උපත සිදුවූ මොහොතේම මේ සියල්ල ලැබුණු බව කීමෙන් ගෞරවාන්විත චරිත පෙළ ගැස්මක් ඇති කරවන බැව් පෙනෙයි. කෙසේ වෙතත් ගැමුණු කුමරුට මේ කියන සියලු දෑ ලබා දිය හැකි බලවත් රජකු ලෙස කාවන්තිස්ස රජු ශක්තිමත්ව සිටි බැව් පැහැදිලියි. දුටුගැමුණු කුමරුන් උපන් දා සිටම ඔහුට මඟ විවර කරදී අවැසි සියලු පරිවාරයන් සැකසූයේ ළඟාකර දුන්නේ කාවන්තිස්ස නම් ශේ‍ර්ෂ්ඨ දුරදක්නා පියරජතුමා විසින් බව පසු කලෙක රචනා වූ වංශකතා පවා සාක්කි දරයි.

සද්ධර්ම, ලංකාරය එය පෙළගස්වන ආකාරය මෙහි දැක්වීම වටින්නේය. එය මෙසේය.

“එකල්හි නිමිත්ත පාඨකයෝ එහි විපාක ප්‍රකාශ කොට කියන්නාහු,
සූර වීර බලුපෙතො, මෙරු සාරා ගුණාකරෝ ධීර සුමති විකක නෙතා, පුතෙතා තෙ දෙව ජායති බතතිංස දමිළ හනත්වා, කත්වා යුද්ධං අසා දිසං, වසෙ කත්වා නිමං ලඛකාවා, එක රජ්ජං කරිස්සති අනුරාධපුරේ රමම, වසනෙතා සාසනං ඉමං, සොහෙස්සති යථාසොක ධම්ම රාජාව සාසනං”
එහි අරුත මෙසේය යනාදී වහන්ස, නුඹ වහන්සේට ශෞර වීර්ය පුරුෂ බල පරාක්‍රමයෙන් යුක්ත මහමෙර සේ ධිරසාර ගුණ ඇති ධෛර්ය සම්පන්න වූ ප්‍රඥා වික්‍රම ඇති පුතණු කෙනකුන් වහන්සේ උපදනා සේක. උන්වහන්සේ මතු අසුර යුද්ධ කරන්නාසේ අසමාන වූ මහත් වූ යුද කොට දෙමළ දෙතිස් කඳවුරෙහි ඇණිලා උන් දෙමළ මහ සෙනඟ සාධා ලංකාද්වීපය ඒකඡත්‍ර කොට රාජ්‍ය කරන සේක.

දිව්‍ය පුරයක් වැනි ඉතා රම්‍ය වූ අනුරාධපුරයෙහි රජසිරි විඳ වෙසෙමින් ධර්මාශෝක රජ්ජුරුවන් වහන්සේ සේම සර්වඥ ශාසනය බබුළුවන සේකැයි කීහ.

කෙසේ වෙතත් අනුරාධපුර රජ පෙළපතට තිබෙන ඥාති සම්බන්ධතාව කෙසේ වෙතත් විහාර මහාදේවිය බොහෝදුරට අද පිළිගැනෙන්නේ නාග ගෝත්‍රික හෙළ සම්භවයක් සහිත ප්‍රදේශයක කුමරියක ලෙසය. වංශ කතාවනට අනුව ද ඓතිහාසිකව ඔප්පු වෙමින් පවතින සාක්ෂි අනුව ද බුදුරදුන් කැලණියට වැඩම කරවීමට නාග ගෝත්‍රික අධිපතියා වූ මණිඅක්ඛිත නාග රජු ආරාධනා කළ පුවතක් කැලණියෙන් හමුවන සාක්ෂි අනුවත් සිතීමට ඉඩ සලසයි. කැලණිය නාගයන්ට තෝතැන්නක් වූ ඓතිහාසික ප්‍රදේශයකි. එහි නාගයෝ බලවත් වෙළෙඳ හා නාවික ශක්තියකින් හෙබි හෙළයන් බවත් පෙනෙයි. එබැවින් විහාරමහා දේවියගේ නාග ගෝත්‍රික නෑදෑකම මෙහිදී අමතක කරන්නට බැරිය.

එපමණක් නොව ඇයට අනුරාධපුර රාජධානියෙහි නායක කාරකාදීන් හා තිබුණු ඥාතීත්වය ද අමතක කළ නොහැකිය. සිංහලයා විජයගෙන් උපන්නාය කියන තර්කය අද යල් පැනගිය එකක් වන්නේ මේ සබැඳියාවන් මතු වෙමින් තිබෙන නිසාය.

කෙසේ වෙතත් නාග ගෝත්‍රිකයන්ට තිබෙන ආර්ය නොවන අනාර්ය බව නිසා ආර්ය හෝ කවර නම් චෝළ සම්භවයක් සහිත ප්‍රජාවක් මෙරට ආක්‍රමණය කළේ නම් එම බලවේගවලට එරෙහිව හෙළ ගෝත්‍ර පෙරමුණ ගත් බව පැහැදිලිය. ගැමුණු රජුට නාග ගෝත්‍රික හෙළ සම්භවය තිබුණු නිසාම බලවත් සේනාවක් සාදා ගන්නට රට තුළින්ම මහා ශක්තියක් ලබා දෙන්නේය. කාවන්තිස්ස රජුට කතරගම ක්ෂත්‍රියයන්ගේ ද කැලණියේ නාගයන්ගේ ද ශක්තිය හිමි වූ ආකාරය පැහැදිලිය. කතරගමත්, කැලණියත් අතර තිබූ නාග සම්බන්ධය කාවන්තිස්ස රජුත් විහාර මහා දේවියත් එක්වීමෙන් බලවත් විය. ඒ දෙදෙනාගේම පුත් ගාමිණි අභය කුමරු හෙවත් දුටුගැමුණුට මහා බලවේගයක් ගොඩනැඟෙන්නේ මේ ඓතිහාසික ජන බලවේගවල ඒකමිතියෙනි.

ගැමුණු කුමරු ආර්ය පෙළපතින් පැවැත එන්නන් හා ගැටෙන්නට නොගොසින් ආර්ය හා අනාර්ය නාග සම්බන්ධය හරහා හෙළය එක්සේසත් කළ ඓතිහාසිකව වැදගත් වූ දේශපාලන තීන්දුවක් ගත් දුර දක්නා ශේ‍ර්ෂ්ඨ නරපතියෙක් වන්නේ එකී අර්ථයෙනි.

– උපුටාගැනීමකි – මවුබිම –එස්. රණසිංහ

Add a Comment

Your email address will not be published. Required fields are marked *