සෝමවීර සේනානායක – දැයට ණය නොවී වියෑකුණු යශෝරාවය

අපේ රටේ මහ පොළොවේ පය ගසා ගත් මිනිසකු නිර්මාණය වූ සැටි පසුගියදා අප අතරින් සමුගත් සෝමවීර සේනානායකයන් සිය අවසන් කෘතිය වූ ‘අපි තවමත් සංසාරේ’ නමැති ස්‌වයංලිත චරිතාපදානයෙහි සඳහන් කර ඇති අන්දමයි ඒ. නවකතාව, කෙටිකතාව, පුවත්පත්, සිනමාව හා රූපවාහිනිය ආදී මාධ්‍ය ක්‍ෂේත්‍ර රැසක නිපුණතා පළ කරමින් නිර්මාණාත්මක ලේඛනය තුළින් මෙරට සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ දශක හතරකට වැඩි කාලයක්‌ විශිෂ්ට සාහිත්‍ය මෙහෙවරක නියෑලෙන්ට ඔහු ලද පන්නරය එයයි.

1966 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී උපාධිය සමත්ව 1969 දී ආදරයට බය මිනිස්‌සු නමින් ඔහු සිය ප්‍රථම නවකතාව ලියා පළ කළේය. ඉනික්‌බිති අඹුසැමියෝ, මවකගේ ගීතය, එක්‌ ටැම් ගෙවල්, මතු දවස, ඉර හඳ පායන ලෝකය, යශෝරාවය, මැණික්‌ නදිය ගලා බසී, බලදේවගේ ලෝකය, අපේ රාළලාගේ දේශය, පංච වරුණ සහ වැරදියි මහ රජ ලෙසින් නවකතා 12 ක්‌ නිර්මාණය කළේය. මවකගේ ගීතය 1972 දීත්, යශෝරාවය 1978 දීත් මැණික්‌ නදිය ගලා බසී 1983 දීත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගත්තේය.

1971 අප්‍රේල් කැරැල්ල සමයේ ලද අත්දැකීම් ඇසුරෙන් මවකගේ ගීතය ලියූ සෝමවීර සේනානායකයෝ 1974 දී මහනුවර යුගයේ සාමාන්‍ය මිනිසා පිළිබඳ කතාවක්‌ ඉර හඳ පායන ලෝකය නමින් ලියා පළකළහ. 1974 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය නිර්මාණය පිළිබඳ එම්. ඒ. උපාධිය හැදෑරූ ඔහු ඒ සඳහා නිබන්ධනය ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ යශෝරාවය නවකතාවයි. යශෝරාවය නවකතාවට වස්‌තු බීජය ලැබුණේ මහගමසේකරයන්ගේ අවමඟුල් දිනයේදී යෑයි සෝමවීර සේනානායක සිය ‘අපි තවමත් සංසාරේ කෘතියේ මෙසේ සඳහන් කරයි.

book

“මහගමසේකරයන්ගේ අවමඟුල නිම වූ දින රාත්‍රියෙහි මම මිදුලට වී හුදකලාව මගේ මිත්‍රයා ගැන කල්පනා කරන්නට වූයෙමි. රදාවානේ තුංමං හන්දියේ පැවති මහගම සේකර අවමඟුලට අති විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. අවසන් ගෞරව දැක්‌වීමට ජනකාය පැමිණියේ ඔහු යහපත් වැඩ කළ නිසා ය. මට ධම්මපදයේ ගාථාවක්‌ මතක්‌ විය.

‘උට්‌ඨානවතො සතිමතො

සුචිකම්මස්‌ස නිස්‌සම්මකාරිනො

සඤ්ඤතස්‌ස ච ධම්ම ජීවිනො

අප්පමත්තස්‌ස යසොභි වඩ්ඩති’

උත්සාහයෙන් යුතු ව මනා සිහියෙන් යුතු ව යහපත් කාරීන්හි යෙදෙමින් ධර්මානුකූල ජීවිතයක්‌ ගත කරන්නාගේ යසස වර්ධනය වෙයි. යසොභි වඩ්ඩති යන්න මුමුන මුමුනා සිටින විට යශෝරාවය වචනය සිතට ආවේ ය. මා ප්‍රථමයෙන් ම ලියුවේ නවකතාව නොව නවකතාවේ නම වූ යශෝරාවය වචනයයි”

යශෝරාවය රචනා කිරීමෙන් පසු 1983 දී මැණික්‌ නදිය ගලාබසී නිර්මාණය කළ සෝමවීර යශෝරාවයේ දෙවැනි කොටස වශයෙන් බලදේවගේ ලෝකය රචනා කළේය. සුද්දා පරාදයි, රජකාලේ පුංචි ළමයි, ගඟ අද්දර කැලේ, දියෙන් උපන් කුමාරයා, ලස්‌සන වස්‌තුව, දඩමං ඔස්‌සේ ලෙස ළමා සහ යොවුන් නවකතා රැසක්‌ රචනා කළ ඔහු බුදුරජාණන් වහන්සේ දෙසූ දහම ජීවිතයට සම්බන්ධ කරගන්නා අයුරු පෙන්වා දෙමින් 2000 වසරේදී අඳුරට පහනක්‌ කෘතිය නිර්මාණය කළේය. උම්මග්ග ජාතකය ඇසුරෙන් වැරැදියි මහරජ නවකතාවත් පැරණි ග්‍රන්ථවල සහ කටවහරේ පවතින වැදගත් වදන් හා යෙදුම් පිළිබඳ විවරණයක්‌ ලෙස ‘වටිනා වදන් සහ යෙදුම් පොත ලීවේය.

අපේ රටට රූපවාහිනිය ආගමනයත් සමඟ ලේඛන කලාව තුළින් හෙළි පෙහෙළි කළ සාරවත් ජීවන දෘෂ්ටිය නිවසේ ආලින්දයට රැගෙන ආවේ මාලා සහ ඒකාංග ටෙලිනාට්‍ය සමූහයක්‌ රචනා කරමිනි. පළිඟු මැණිකේ, මැණික්‌ නදිය ගලා බසී, දූ දරුවෝ ඇතුළු රූපවාහිනී මාලා ටෙලි නාට්‍ය 28ක්‌, මෙහෙව් රටේ, පාරමිතා, සිත නිවන කතා, සංසාරේ පිය සටහන් ඇතුළු ඒකාංග ටෙලි නාට්‍ය 253 ක්‌, වාර්තා තිර රචනා 40 ක්‌ සහ පෙති ගෝමර, සත්වැනි දවස, ආරාධනා, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ ඇතුළු චිත්‍රපට තිර රචනා 12 ක්‌ රචනා කරමින් ඔහු මෙරට රූපවාහිනී තිර රචනා කලාවේ ප්‍රමුඛයා බවට පත් විය. බෞද්ධ දර්ශනය සමඟ අත්වැල් බැඳගත් සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි පුරෝගාමී මෙහෙවරක නියෑලුණු සෝමවීර සේනානායකයන් මෙරට ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි සිදුකරනු ලැබූ සේවය වෙනුවෙන් ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්‌ගිරි පාර්ශවීය සංඝ සභාව 2002 වසරේදී ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී ගෞරව නාමය ඔහුට පිරිනැමුවේය.

සෝමවීර සේනානායකයන්ගේ හතළිස්‌ වසරක නිර්මාණ චාරිකාවේ අවසන් මං සලකුණ ‘අපි තවමත් සංසාරේ’ ස්‌වයංලිත චරිතාපදානයයි.

එම කෘතියේ දෙවැනි සංස්‌කරණය මුද්‍රණය සඳහා පිළියෙල කිරීම මා වෙත පැවරූ සෝමවීර සේනානායකයෝ එහි අවසන් සෝදූපත ද රැගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළ පිහිටි අපගේ නිවසට පැමිණියහ.

ඔහුගේ සමීප ඥතියකු ලෙසින් දිගු කලක්‌ ඔහු ඇසුරේ රැඳුණත් අපේ කතාබහට එතෙක්‌ මෙතෙක්‌ ලක්‌ නොවූ හැටේ දශකයේ ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳවත් ගංගොඩවිල ප්‍රදේශය ආශ්‍රිත අත්දැකීම් පිළිබඳවත් එදින අපේ කතාබහට ලක්‌ විය.

“මගේ නිර්මාණ ජීවිතය පටන් ගත්තෙ මේ විශ්වවිද්‍යාලයෙන් ඒ කාලෙ විඡේරාම හංදිය කිට්‌ටුව මම මුද්‍රණාලයකුත් කරගෙන ගියා. නොදන්නා දේවල් කරන්න ගිහින් බංකොලොත් වුණා.” ඔහු ආලින්දයේ හිඳ ඈත පෙනෙන විශ්වවිද්‍යාල දෙස බලමින් කතා කළේය.

අපි තවමත් සංසාරේ දෙවැනි සංස්‌කරණයට නව පරිච්ඡේදයක්‌ එක්‌ කළ ඔහු තම ශාස්‌ත්‍රීය සහ සාහිත්‍ය කලා නිර්මාණ චාරිකාවේදී අතහිත දුන් සියලු දෙනාට කෘතඥතාව පළකර තිබීම දෛවෝපගත සිදුවීමක්‌ බඳුය.

සිය ආතා සමඟ කුඩා කල සිල් ඇත්තන්ට ජාතක කතා කීම සඳහා පන්සියපනස්‌ ජාතික පොත් වහන්සේ හිසින් ගෙන සෑම පෝ දිනකටම ගිය ගමේ පන්සලේ තම බාල සොහොයුරු ගම්වැසියන්ගේ උපකාර ඇතිව ඉදිකරන චෛත්‍යයට කොත් පැළඳවීමට ඔහු පසුදා අවිස්‌සාවේල්ල කුඩගම ශ්‍රී විජය මංගලාරාමයට ගියේය. සිය ගතට දැනුණු කිසියම් අපහසුතාවක්‌ නිසා කොත පැළඳවීම සොහොයුරාටම පැවරූ සෝමවීර සේනානායකයෝ ආපසු ආහ.

පසු දින රාත්‍රියේ හෘදයාබාධයක්‌ වැළඳී ඔහු රෝහල්ගත කෙරිණි. කුඩා කල හිස මත තබාගත් ජාතක පොත වසර 73 ක සිය ජීවන ගමන නිම කරන මොහොත දක්‌වාම බිම නොතැබූ සෝමවීර සේනානායකයෝ දැයට ණය නැති මිනිසකු ලෙස දැයෙන් සමුගත්තේය.

පාලිත සේනානායක

Add a Comment

Your email address will not be published. Required fields are marked *