සුදු ඇඳගත් ‘අද්භූත අහිංසකාවියක්’ අහුපිනි ඇල්ලේ

රාවණා රජු සම්බන්ධ ජනප්‍රවාද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් සොයා ගත හැකිය. ඒ අතරින් රාවණා රජුගේ අශ්වයා පන්නන ලද දිය ඇල්ලක් පිළිබඳව කෑගල්ල දිස්ත්‍රිකයෙන් අසන්නට ලැබේ. එය හැඳින්වෙන්නේ ‘අහුපිනි ඇල්ල’ යනුවෙනි. මෙය අශ්වයා පැන්න යන අදහසින් ‘අසුපැනි ඇල්ල’ වී  පසුව ‘අසුපිනි ඇල්ල’ හෙවත් ‘අහුපිනි ඇල්ල’ වූ බව ජනප්‍රවාදයෙහි සඳහන්ය.

මේ අතර මෙම අහුපිනි ඇල්ල වළගම්බා රජු විසින් සොලීන්ගෙන් මිදී ‍රුහුණට පලා යාමේ දී අශ්වයා පැන්න වූ  ඇල්ල ලෙසද සමහරෙක් හඳුන්වති.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දෙයියන්වල ග්‍රාම නිලධාරී වසමත්, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩුවැල්ල ග්‍රාම නිලධාරී වසමත්, ‍යා කෙරෙන මෙය උසින් අඩි 300 ක් පමණද පළලින් අඩි 40 පමණ ද වෙයි. ඇල්ලෙහි උඩ ප්‍රදේශය මුහුදු මට්ටමින් අඩි 3200 ක් පමණ උසකින් පිහිටා ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සිට දෙයියන්වල දක්වා කිලෝමීටර් දෙකහමාරක දුරක් වාහනයකින් පැමිණ පා ගමනින් මෙම ඇල්ල වෙත ළං විය හැකි අතර මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ සිට උඩුවැල්ල දක්වා කිලෝමීටර් 15 ක දුරක් වාහනයකින් පැමිණ එතැන් සිට ඇල්ල කරා පා ගමනකින් ඇල්ල වෙත සමීප විය හැක.

මෙම ඇල්ල පිළිබඳ ඇති ජනප්‍රවාද අතරේ ඇල්ල ඉහළ ප්‍රදේශයේ සැරිසරන සුදු හැඳගත් රූමත් තරුණියක ගේ අද්භූත රූපයක් පිළිබඳ ජනප්‍රවාදය අතිශයෙන් ප්‍රකටය. එහෙත් එහි විස්මයට කරුණ වන්නේ එම අද්භූත රූපයෙන් නපුරක් අයහපක් සිදූවූ කිසිවෙකුත් නොමැති වීමය. එම රූපය දැකීමෙන් තද නිදිබර ගතියක් දැනෙනු හැර අන් කිසිදු බලපෑමක් සිදු නොවූ බව ඇල්ල නැරඹීමට පැමිණෙන්නවුන් පවසන බව ගම්මු කියති. නමුත් ඇල්ල නැරඹීමට එන දේශීය සංචාරකයන් පොලිතින්, ප්ලාස්ටික් වැනි දෑ පරිසරයට එක් කිරීමත්, මත්පැන් බී අසංවර ලෙස හැසිරීමත්, ප්‍රදේශයේ ස්වාභාවික ශාක වලට හානි කිරීමත් නිසා එම ඇල්ලේත් පරිසර පද්ධතියේත් යහ පැවැත්මට බරපතල තර්ජනයක් වන බවට ගම්මු මැසිවිලි නගති.

ඒ අනුව සොභාදහම සහ පරිසරය කෙරෙහි සැබෑ සංවේදීතාවයකින් යුතුව මෙම ‘අහුපිනි ඇල්ලේ’ අසිරිය විඳ ගැනීම අප කාගේත් සාමූහික වගකීමක් සහ යුතුකමක් බව කිව යුතුය.










සටහන සහ ඡායාරූප වෛද්‍ය සුගත් විජේවර්ධන

Add a Comment

Your email address will not be published. Required fields are marked *