පතල් කවි – ජනකවි

වළ ඇතුළේ සොල්දර වාසනාවන්
සොල්දර උඩට දබරේ වාසනාවන්
දබරේ උඩට දම්වැල වාසනාවන්
දුප්පත් අපට පතලේ වාසනාවන්

මං මුළා වෙලා මේ රට පසුවෙනවා
අයියලා ඉඳන් මට තව දුක් දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහි වෙනවා
බංගලා වළේ දෝනාවට අපි යනවා

දුම්බර කන්ද පාවුල ගම රාගෙදර
මිනිරන් ගෙන යන්න කැපුවා මහ පාර
වතුරෙන් සැප හොඳයි කුඹුකේ ළින් වතුර
ගන රන් රුවයි මිනිරන් කඳ රාගෙදර

මිනිරන් පතලෙ හරියට අපෙ ගෙදර වගේ
බත් දෙන කෝකි අප්පු අපෙ අම්මා වගේ
ලියනඅප්පු පවුලේ ලොකු අයිය වගේ
ලෝඩර ගොල්ල හරියට මහ සොහොන වගේ

මහත්තයෝ මං කී දේ අහනව ද
අතේ තියෙන කරගැට පොඩි බලනව ද
පොතේ තියෙන පඩි ගණනත් කියනව ද
ගමට යන්ඩ පඩි තුන්ඩුව ලැබෙනව ද

ඉන්නෙත් දුම්බරයි මහ කලු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
යන්නෙත් කවදාද මවුපියො දකින්නට

එන්ඩ කිව් දිනට පඩි ගන්නට ආවා
දෙන්ඩ තොපට පඩියක් මෙහෙ නැත කීවා
වෙන්ඩ තිබෙන දේ නවතන්නට බැරිවා
යන්ඩ කියා කන්සට පහරක් ගැසුවා

වඳුරාගොඩට අපි ඇවිදින් විඳින දුකා
ගැටිය නැති මුට්ටු පොඩියේ උයන් කකා
පනම් විස්ස ණය වෙන කොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා

ඉන්නෙත් මීගොඩයි විත් පූරුවේ පවට
දෙන්නෙත් රුපියලයි කෑමයි මදි මෙමට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
සුන්බත් වෙමින් යන්නට වෙයි මට ගමට

ඩබරෙ කරකවා අත් දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරෙ පතල් වැඩ ගැන මගෙ මඩ දනවා

දෝත මුදුන් තබමින් සුරිඳුන් වඳිමු
සෑම සියලු දෙවි උතුමන්ට පින් දෙමු
දන්න දන්න තාලෙන් සීපද කියමු
දෝස දුරැර අපි ගම රටවල යවමු

Add a Comment

Your email address will not be published. Required fields are marked *