නඩුවට නුවරඑළි ගිය කොඩි පෙළපාලිය

අපි හැමෝම වගේ සින්දු කිව්වා.ඒත් මොන අවස්ථාවකවත් රෝහණ සහෝදරයා සින්දු කිව්වේ නැහැ. එයා කළේ අපි කියන සින්දුවල තාලයට අත්පුඩි ගහන එක. හැබැයි එයා අපි සින්දු කියන අවස්ථාවල් මග හැරියේ නැහැ.ඔහු විශේෂයෙන්ම කැමති ප්‍රේම ගීතයක් තිබුණා මට මතකයි. මට මතක හැටියට අමරදේව ගයන ‘පුංචි පැලට පෙති ගෝමර’ නමැති එම ගීතයට රෝහණ සහෝදරයා කැමති වී තිබුණේ ගම් පෙදෙසේ නෑනා කෙනෙක් සමඟ ඇති කර ගත් ඔහුගේ පළමු ප්‍රේම සම්බන්ධයට අදාළව.”

ලයනල් බෝපගේට අනුව ජාතිවාදයේ පැතිරීම සහ පැතිරවීම සඳහා පිටු බලය ලැබීමට වැදගත් අවකාශයක් ලබාදෙන්නේ විරැකියාවයි. රටේ ඌණ සංවර්ධනය පිළිබඳවත් විදේශීය අධිරාජ්‍යවාදී ඒකාධිකාරයත් අපේ ආර්ථිකය මත දරන ආධිපත්‍යය පිළිබඳවත් පවතින මූලික ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් තොරව මේ රටේ විරැකියා ප්‍රශ්නය විසඳන්නට බොහෝ ආණ්ඩු උත්සාහ දරා තිබෙන බව ඔහු දරන මතයයි.

“බණ්ඩාරනායක මහතාගේ ‘ප්‍රගතිශීලී’ ආණ්ඩුවේ ආර්ථික වැඩ සටහන අණ්ඩ දාපු එකක්. ඒක ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙලා හදපු අනෙක් ‘ප්‍රගතිශීලී’ සභාග ආණ්ඩුවලටත් එක්තරා දුරකට අනතුරු ඇඟවීමක් ලෙස පැවතුණා. ඒ වගේම බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය එතෙක් තිබුණ එක්සත් ජාතික පක්ෂයේ අබලන් වී තිබුණ කෘෂිකර්ම ප්‍රතිපත්තියට වඩා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුවා. ඊට හේතුව මහජන එක්සත් පෙරමුණේ කෘෂි ප්‍රතිපත්තිය සකස් කළේ කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගුණවර්ධන වීම. ඒත් මේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ප්‍රධාන අඩුපාඩුව වූණේ මුළුමනින් ම වී වගාව කෙරෙහි පමණක්ම එහි අවධානය යොමු කිරීම.”

පිලිප් ගුණවර්ධන අමාත්‍යවරයා ඉඩම් භුක්ති ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළේය. ඒ අනුව කුඹුරු පනත ඉදිරිපත් කරන ලදී. පනතෙහි අරමුණ වූයේ අඳ ගොවීන්ට භුක්තියෙහි ආරක්ෂාව සපයා දීමයි. අඳ ගොවීන් විසින් ඉඩම් හිමියන්ට ගෙවිය හැකි උපරිමය එමගින් නියම කෙරුණි. ඒ අතර ග්‍රාමීය කම්කරුවන්ගේ වැටුප් නියම කිරීම සඳහා කමිටුවක් ද පත් කෙරිණි.

“බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණු පාලනය යටතේත් කළ, ඉන් පසුව පැවතුණ ආණ්ඩු යටතේත් ‘ජනසතු කිරීම්’ පෞද්ගලික ධනයේ නෛතික අයිතිය රජය වෙත පවරා ගැනීමට සීමා වුණා. කවදාවත් ඒවා වඩා කාර්යක්ෂම සහ වගකිව යුතු මට්ටමට වෙනස් කළේ හෝ සංවර්ධනය කළේ නැහැ. රටේ සම්පත් සම්පාදනය කළ මිනිසුන්ට අතිරික්තය බෙදා හරින්නට, නිෂ්පාදන මාර්ග සමාජ සන්තක කරන්නට, මේ කව්රුවත් කිසිදු උත්සාහ දැරුවේ නැහැ.”

“එදා අපි දැක්ක විදියටත් මම අදත් විශ්වාස කරන විදියටත් මහජන මුදල් නාස්ති කරමින් වියළි කලාපය තුළ ජනපද බිහි කිරීම දිගින් දිගටම කර ගෙන ගියා.

බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව පත් කරන්න මහන්සි වුණු සිංහල ජාතිවාදී බලවේග ජාතික වේදිකාවේ පෙන්වා දුන්නේ බණ්ඩාරනායක මහතා අවශ්‍ය තරම් ජාතිවාදී දුරකට නොයන බව’ යි. සමහරු කිව්වේ තමන්ගේ ‘ආර්ය මුතුන් මිත්තන්ගේ කීර්තිය’ දෙමළ ජනයාට පාවා දීමට බණ්ඩාරනායක මහතා කටයුතු කරන බවයි. මේ සියලු කාරනා එකට පෙළ ගැහිලා 1959 දී බෞද්ධ භික්ෂුවක් වූ සෝමාරාම බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරනවා.”

“1959 සැප්තැම්බර් 26 වෙනිදා සිදු වුණු බණ්ඩාරනායක මහතාගේ මරණය දැනගත්ත අපේ ගම්වල මිනිස්සු හඬා වැළපෙන්න ගත්තා. ඔහුගේ වියෝව නිවේදනය කරන්නට ගුවන් විදුලියේ සියලු වැඩසටහන් නවතා දැමුණා. මමත් අපේ තාත්තාත් මහත් උනන්දුවකින් ලංකා ගුවන් විදුලි සේවයේ විකාශනයන්ට සවන් දුන්නා. ඊළඟ පැය 48 පුරාම ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ අපිවත් අනෙක් අයවත් තව තවත් හඬා වැළපෙන්නට සැලැස්වූ ශෝකීමය වටපිටාවක් නිර්මාණය කළ සිතාර් වාදනයක් පමණයි.”

අගමැති බණ්ඩාරනායක යුගයේ දී ලයනල් බෝපගේ අත්දුටු මේ සිදුවීම්වලට සම්බන්ධ වුණු විශ්වාස කළ නොහැකි තරමේ සිදුවීමක් ඉන් වසර පනහකට පමණ පසු 2007 ලන්ඩන් නුවර දී සිදුවිය.

“2007 දී මම සමුළුවකට සහභාගී වෙන්නට මම ලන්ඩන් නුවරට ගියා. මාව ගුවන් තොටුපලින් රැගෙන යාමට ඇවිත් සිටිය පුද්ගලයාත් මමත් අතර මග දී කළ කතාබහේදි මම උපන්නේ වැලිගම බවත්, කලක් මාතර රාහුල මහා විද්‍යාලයේ ඉගෙන ගත් බවත් මම කීවා. ඔහුත් කලක් වැලිගම පදිංචිව සිටි බවත්, රාහුල මහා විද්‍යාලයේ ඉගෙන ගත් බවත් ඔහුත් කීවා. මට මේ ගැන පුදුම හිතුණා. මම එයාට නිකමට වගේ රාජවරෝදය රාජමාතණ්ඩන් සහ ඔහුගේ නිවස අසල සිටි රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඕවසියර්වරයා ගැනත් කිව්වා. මාව තව තවත් පුදුමයට පත් කරමින් ඔහු ඒ අය ගැනත් දැනගෙන හිටියා. ඇත්තටම මාව එක්ක යන්න රියදුරා හැටියට ඇවිත් හිටියේ 1958 දී ගිනිබත් කළ නිවසේ හිටපු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඕවසියර්වරයාගේ පුතා. එයා එංගලන්තයේ ප්‍රසිද්ධ සිවිල් ඉංජිනේරුවෙක්. නම කුහනේන්ද්‍රන්, කෙටියෙන් කියන්නේ ‘කුහන්’ කියලා. රාජමාතණ්ඩන් මහත්තය කලබලවලින් පස්සේ යාපනයේ හාට්ලි විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරලා මරණයට පත් වුණ බව ඔහු කිව්වා.”

ලයනල් බෝපගේ කොන්දේසි විරහිතව බොහෝ දෙනා ඇසුරු කරයි. දේශපාලන පරස්පරතා තිබුණ ද මිනිසුන් ඇසුරට ඔහු සීමා පනවා නොගනී. එනිසාම ඔහුට ලන්ඩනයේ දී කුහන් හමුවීමද අරුමයක් නොවේ. තරුණයන් ලෙස ව්‍යාපාරයට සම්බන්ධ වූවායින් පසුව පවා ඉඩක් ලද විටෙක තමන් සෙසු අය සමඟ ගී ගයමින් සතුටින් කල් ගත කළ බව ඔහු පවසයි.

“අපි ඒ කාලේ තරුණ වයසේ. අපිත් හිනා වුණා. විහිලු තහලු කළා. සින්දු කිව්වා. එහෙම දේශාභිමානී ගීතවලට වෙන් වුණු විශේෂ අවස්ථාවක් තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ නඩුවට නුවරඑළි ගිය ගමන. අපි ඔක්කොම කොටුවෙන් එක දුම්රියක ගියේ. ගාල්ලෙන් ආපු සිසිල්චන්දු, මාධූවගේ, සැම්සන් වගේ සහෝදරවරුනුත් ගී ගැයීම්වලට එකතු වුණා. කොටුවෙන් යන බදුල්ල කෝච්චියේ පෙට්ටි කිහිපයක් ම අපට වෙන් කර ගෙන වගේ තමයි තිබුණේ. රතු කොඩි වනමින් සින්දු කියමින් අපි නානුඔයට යන කම් ගියා. ඒක අදටත් විශේෂයෙන් මතක තියෙන ගමනක්.”

“රෝහණ සහෝදරයා බදුල්ලේ බන්ධනාගාරයේ රදවා ගෙන නුවරඑළිය උසාවියට ගෙනියනකොට කොළඹින් ගිය අපි නානුඔයෙන් බැහැල නුවරඑළියටම පයින් යනවා. ඒ කිලෝමීටර් පහක විතර දුර අපි යන්නේ සින්දු, සටන් පාඨ කියමින්. ආණ්ඩුව රෝහණ සහෝදරයාගේ නඩුව නුවරඑළියට ගත්තේ ඒ නඩුවට සමාජ අවධානය අඩුවෙන් ගන්න. ඒත් අපේ වැඩේ හින්ද සමාජ අවධානය වැඩි වුණා. එදා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට නුවරඑළිය නගරයත් උසාවි භූමියත් රතු පාට කොඩිවලින් වැහුණු දවස. ඒක ඇත්තටම රතු කොඩි සයුරක් වගේ. අපි උසාවියේ නඩු විභාගය කෝලමක් කරගත්තා. අපි උසාවිය ඇතුළෙදි නැගිට්ටේ රෝහණ සහෝදරයා උසාවියට ගේන කොට විතරයි. අවසානයේ අපි උසාවි සටන ජය ගත්තා. රෝහණ සහෝදරයා නිදහස් කළා.”

“මම පාසල් යද් දී චිත්‍රපට බැලුවා. 1950 වාගෙ සිංහල චිත්‍රපට තිබුණේ ඉතා අඩුවෙන්. මගේ පවුලේ සියලු දෙනාම බලපු පළමු චිත්‍රපටිය ඉන්දියන් එකක්. ඒකේ නම සම්සාරම් (බිරිඳ); මාතර රාහුලේට යන කාලෙ හින්දි, ඉංග්‍රීසි චිත්‍රපටත් බලන්න පටන් ගත්තා. Ben-hur (බෙන්-හර්), The Ten Commandments (දස පනත), The Bridge on the River Kwai (ක්වායි ග‌ඟේ පාලම) සහ The Singing Nuns(ගායක කන්‍යා සොයුරියෝ) චිතුපට මට තවම මතකයි. මගේ ජනප්‍රිය බටහිර රි දී තරු චාල්ටන් හෙස්ටන්, රෝයි රොජර්ස්‚ සොෆියා ලොරේන්, ඩෙබී රෙනෝල්ඩ්ස් හිටියා. හින්දි චිත්‍රපට අතරෙ චිරාග් කහාන් රෝෂ්නි කහාන්, මධුමතී, සංගම් සහ ෂෙහ්නායි මට තවම මතකයි. මේ චිත්‍රපට බැලුවේ වැලිගම පැලෑනේ චිත්‍රපට ශාලාවකයි මාතර බ්‍රෝඩ්වේ සිනමා හලේ.

“චිත්‍රපටි බැලීමත් එක්ක හින්දි ගීත වැඩියෙන් අහන්නත් ගයන්නත් මම ආස කළා. නමුත් මුලින්ම හින්දි ගීත අහන්න පුරුදු වුනේ 50 ගණන්වල අපේ තාත්තගෙන්. අපේ පවුලේ හැමෝම උදේ පාන්දර ම ඇහැරෙනවා. තාත්තා අදේ 5.30 වෙන කොට පකිස්තානු ගුවන් විදුලිh (Radio Pakistan) හින්දි භාෂාවෙන් ප්‍රචාරය කළ පැය බාගයක ඔබ කැමති ගී වැඩ සටහන දානවා. ”

විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර තුලත් ඉන් පිටතත් ව්‍යාපාරයේ සොහොයුරන්ගේ හමුවීම් අවසානයේ ඇතැම් විට ඔවුහු ගී ගයති. පාසල් යන මුල් අවධියේ ධර්මදාස වල්පොල, එච් ආර් ජෝතිපාල‚ මොහිදීන් බෙග්, මිල්ටන් පෙරේරා වැනි අයගෙන් පටන් ගත් ඔහුගේ ගී ගැයුම් කාලය ගත වීමත් සමඟ හින්දි ගීත හරහා අමරදේව, නන්දා මාලිනී වැනි අයගේ ගීත වෙත යොමු විය. පසු කලක බෝපගේ වඩාත් ප්‍රචලිත ව සිටියේ අමරදේවගේ ගී ගායනා කිරීමටය. ඒ වන විට ඔහු බටහිර සහ මැද පෙරදිග සංගීත ආභාෂයන් වෙත ද යොමුව සිටියේය.

“අපි හැමෝම වගේ සින්දු කිව්වා.ඒත් මොන අවස්ථාවකවත් රෝහණ සහෝදරයා සින්දු කිව්වේ නැහැ. එයා කළේ අපි කියන සින්දුවල තාලයට අත්පුඩි ගහන එක. හැබැයි එයා අපි සින්දු කියන අවස්ථාවල් මග හැරියේ නැහැ.ඔහු විශේෂයෙන්ම කැමති ප්‍රේම ගීතයක් තිබුණා මට මතකයි. මට මතක හැටියට අමරදේව ගයන ‘පුංචි පැලට පෙති ගෝමර’ නමැති එම ගීතයට රෝහණ සහෝදරයා කැමති වී තිබුණේ ගම් පෙදෙසේ නෑනා කෙනෙක් සමඟ ඇති කර ගත් ඔහුගේ පළමු ප්‍රේම සම්බන්ධයට අදාළව.”

“අපි අපේ වයසේ අනෙක් තරුණයන්ට වඩා වෙනස් වුණේ දේශපාලනයේ දී විතරයි. එහෙම නොවන හැම මොහොතකම අපි සාමාන්‍ය තරුණයෝ. සමහරු හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අය කියන්නේ අමුතු සත්තු වගයක් කියලා. නැහැ, එහෙම නැහැ. ජීව විද්‍යාත්මකව තරුණයන්ට හිමි හැම හැඟීමක් ම අපටත් තිබුණා. අපි අපේ තරුණ කාලේ අනික් අය වගේම ආදරය කළා. මටත් මගේ පාසල් කාලේ ප්‍රේම සම්බන්ධතා තිබුණා. පක්ෂය තුළ සරත් විජේසිංහ සහෝදරයගෙත් විට්ලින් සහෝදරී ගෙත් ප්‍රේම සබඳතාව ප්‍රකට එකක්. වසන්ත දිසානායක සහෝදරයාගේ පෙම්වතිය හඳගම සහෝදරිය මියගියේ අරගලයේ සටන් බිමේ දි වෙඩි පහරකින්. තවත් බොහෝ අයට ප්‍රෙම සම්බන්ධකම් තිබුණා. එවැනි සබඳතා හංගන්න අපට ඕන කමක් තිබුණේ නැහැ. සමහරු හිතනවා පක්ෂය ඇතුළේ ප්‍රේමය තහනම්ව විෂයයක් කියලා. නැහැ ඒක අසත්‍යයක් ඒවා ගැන ප්‍රශ්න මතු වුණේ ඒ සම්බන්ධකම් හේතුවෙන් ව්‍යාපාරයේ දේශපාලන වැඩ කටයුතුවලට බාධා හිරිහැර පැමිණුන විට.”

බෝපගේ පවසන ආකාරයට මහ නඩුවට පෙර මැගසින් බන්ධනාගාරය තුළදීත් ඔවුහූ ඉඩක් ලද විටෙක ගී ගැයූහ. මුල දී බන්ධනාගාර කුටි තුළ තැන් තැන් හී ඇරඹී මේ ගායනා බන්ධනාගාර අධිකාරී ජෝර්ඩන් මහතාගෙන් ලද ‘නිදහස’ත් සමඟ තරමක් විධිමත් සංවිධානාත්මක ‘ගායනා ප්‍රසංග’ බවට පත්විය.

“මුලින්ම අපිව බන්ධනාගාර කුටි ඇතුලේ සින්දු කිව්වා. වැඩි කාලයක් එළියේ ඉන්න නිදහස ලබා ගත්තම අපි මැගසින් එකේ කෙළවරකට එකතු වෙලා සින්දු කීවා. සින්දු කියන්න පුළුවන්, ඊට කැමැත්ත තියෙන බොහෝ දෙනෙක් මේකට එකතු වුණා. රෑ වෙලා කුටිවලට දාලා වහැව්වට පස්සෙත් අපි රෑ බෝ වෙන කම් සින්දු කිව්වා. මම තමයි ගීත හුඟක් කිව්වේ.”

මැගසින් බන්ධනාගාරයේ බෝපගේ සමඟ සැකකරුවන් දාහක් පමණ රදවා උන්හ. වයස අවුරුදු දාහතේ සිට තිහ පමණ දක්වා වූ ඒ සියල්ල අතර පසු කලෙක ලාංකීය සමාජය තුළ දැඩි අවධානයට ලක් වූ බොහෝ දෙනෙක් විය.

පියදාස රණසිංහ (පසුව ජ.වි.පෙ. සංවිධායක ලේකම්), ධර්මදාස ජයසිංහ (පසුව ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සහ ගාල්ල සංවර්ධන සභා මන්ත්‍රී), හලාවත වනසිංහ (පසුව ජ.වි.පෙ. අධ්‍යාපන ලේකම් සහ නියමුවා පුවත්පත් සංස්කාරක), බුලට් මහින්ද (නීතිඥ මහින්ද ජයවර්ධන), පොඩි අතුල (වික්ටර් අයිවන් – රාවය කතෘ), කැප්ටන් කුලරත්න (පසුව ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සහ වර්තමානයේ මාගා ආයතනයේ සභාපති – එම්. ජී. කුලරත්න ), මදරසිංහ (පසුව ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සහ වර්තමානයේ මාගා ආයතනයේ), විජිත රණවීර (එවක ජාතික ලුණු සංස්ථාවේ සභාපති, පසු කලෙක ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී), කළු ලකී (පසු කලක එක්සත් ජාතික පක්ෂයට එකතු වූ ලක්ෂ්මන් ප්‍රනාන්දු), දේව බණ්ඩාර සේනාරත්න (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතනය කරන ලද)‚ දයා වන්නිආරච්චි (ජ.වි.පෙ. ප්‍රථම ප්‍රධාන ලේකම්), කීර්ති විජේසිංහ (කූනි සංචාරකයෝ) ඇතුළු තවත් බොහෝ දෙනෙක් මේ අතර වූහ.

“මේ අය අතරින් වැඩි දෙනෙක් හිටියේ නැවතත් දේශපාලනය කරන අදහසින්. පොඩි අතුල තදින්ම පක්ෂය විවේචනය කළා. ඔහුට තිබුණු බරපතලම ප්‍රශ්නය විදිහට පෙනුණේ, පක්ෂයේ අධ්‍යාපන පංතියක් ලෙස ඇතුලත් කර තිබුණු ‘ඉන්දියානු ව්‍යාප්තවාදය.’ තවත් ප්‍රශ්න ගණනාවක් එයා මතු කර කළා. එත්, සෑහෙන පිරිසක්‚ බහුතරය හිටියේ ආයෙත් පක්ෂය ගොඩ නඟා ගෙන දේශපාලනය කිරීමේ අදහසින්. ඒ නිසා අපි අතර විරසකකම් තිබුණේ අඩුවෙන්. දේශපාලනය කිරීමේ අරමුණ නිසා අපි එකට එක්වුණා කිව්වොත් නිවැරදියි. ඒ අරමුණ අප අතර වෙනත් ගැටුම් ඇතිවීම වැලක්වුවා.”

සිසිර යාපා

Add a Comment

Your email address will not be published. Required fields are marked *