තුවක්කුවක් අතින් ගත් මාරයාගේ සිත්තමක් ඇති පුදබිමක්

දේශපාලන කැරැල්ල යන වදන කිසිසේත් සිතට සහන් සුවයක් දනවන්නක් නොවේ. එහෙත් දේශපාලන කැරැල්ලක් නිසා ඉදිවූ අපේ රටේ වැදගත් බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳව ඔබ අසා ති‍බෙනවාද? ඒ සුවිශේෂ බෞද්ධ පුදබිම වන්නේ කන්ද උඩරට රාජධානි සමයේ ඉදිවූ දෙගල්දොරුව රජමහා විහාරයයි.

ක්‍රි.ව.1747 – 1782 අතර කන්ද උඩරට රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ නායක්කර් වංශික බිසෝවරුන්ගේ මන දෙල සපුරාලනු පිණිස කුණ්ඩසාලේ ප්‍රදේශයේ ගල්මඩුව නම් විහාරය ඉදිරිකරනවා. එහෙත් රජතුමා එය තනන්නේ කුම්භම්, ගෝපුරම් ආදී ලක්ෂණ සහිත හින්දු කෝවිල් ගෘහනිර්මාණ ශිල්පයකට අනුවයි. එහෙත් රජතුමා මෙසේ හින්දුකෝවිලක ආකාරයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් උඩරට‍ ප්‍රභූන් දැඩි සේ විරුද්ධ වන අතර එය රජුට එරෙහි දේශපාලන කැරැල්ලක් දක්වා දුරදිග යනවා. එබැවින් එම ගල්මඩුව විහාර කර්මාන්තය අතරමග නතර කරන රජතුමා මෙම දෙගල්දොරුව නම් ස්ථානයේ බෞද්ධ ආරාමික ලක්ෂණ වලින් යුතු අංගසම්පූර්ණ විහාරයක් තැනීම ආරම්භ කරනවා. නමුත් එහි කටයුතු හමාරවීමට පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මිය යන නිසා එය නිමකොට මොරතොට ධම්මඛන්ධ නාහිමි ප්‍රමුඛ මහ සගරුවනට පිළිගන්වන්නේ ඉන්පසුව රජකම් කළ  ඔහුගේ සොයුරු රාජාධි රාජසිංහ රජතුමා (ක්‍රි.ව 1782 – 1798) විසින්. මෙම විහාරය සගරුවන්ට පූජාකොට ඇත්තේ 1786 වසරේ බව දෙගල්දොරුව විහාර තඹ සන්නසේ සඳහන් වෙනවා. ‍මෙය ශ්‍රී ලංකාවේ කණින ලද ලෙනක් තුළ තනවන විහාරයක්; මෙහි ගලින්ම මතුකළ සැතපෙත බුදුරුවක් දක්නට ලැබෙනවා. මෙහි සිත්තරුන් ලෙස නීලගම පටබැඳි, කොස්වත්තේ සිත්තර නයිදේ  සහ දෙවරගම්පොල සිල්වත් තැන ආදීන්  මෙහි නිර්මාණ කටයුතු කළ බව සඳහන් වෙනවා. මෙහි දහඅට රියන් බුද්ධ ප්‍රතිමාව නෙලීමට වසර විස්සක් පමණ ගතවී ඇති අතර එම ලෙන තුලට ආලෝකය ලබා ගෙන ඇත්තේ එම විහාරයෙහි ඇතුළු දොරෙහි මැණික් ගල් ඔබ්බවා ඒවායින් ලබා ගත් ආලෝකයෙන් බව ද පැවසෙනවා.

දෙගල්දොරුව විහාරය කලා විචාරකයන්ගේ මහත් ප්‍රසංසාවට ලක්ව ඇත්තේ එහි ඇති බිතුසිතුවම් ඇතුළු කලා නිර්මාණ නිසයි. වෙස්සන්තර, මහා සුතසෝම, මහා සීලව, සත්තුභද්ධ ආදී ජාතක කතා සිතුවමට නගා ඇති අන්දම මේවායින් දකින්න පුළුවන්. දෙගල්දොරුවේ වියන් චිත්‍රයක් වශයෙන් දැක්වෙන මාර පරාජය කලා විචාරකයන් අතර මහත් ආන්දෝලනයට පත්වූවක්. එහි මාරයන් අත ඇති දුණු ඊ තල අතර තුවක්කු තිබීමද විශේෂත්වයක්. මෙය එවක තිබූ අධිරාජ්‍යවාදී ආක්‍රමණ මාරයන්ට සමාන කිරීම පිණිස කලා කරුවා දැරූ කාව්‍යාත්මක උපහාසයක් බව විචාරකයන්ගේ අදහසයි.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 07 ක් දුරින් පිහිටි දෙගල්දොරුව උඩරට චිත්‍ර සම්ප්‍රදායේ විශිෂ්ටතම කලා නිකේතනයක් ලෙස හඳුන්වන්නට පළුවන්. මහනුවර සිට ලේවැල්ල පාලම ඔස්සේ පහසුවෙන් දෙගල්දොරුවට ළඟා විය හැකි අතර දේශීය සංචාරකයන් අතර සේම විදේශීය සංචාරකයන් අතරද මෙම සිද්ධස්තානය අතිශය ප්‍රසිද්ධ වී තිබෙනවා.

මෙම විහාරය තැනීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු කෙරම් උනන්දුවක් දක්වා තිබේද යත් නිරතුරුවම එම චිත්‍ර කර්මාන්තය සිදුවනු බැලීමට පැමිණි බවත් එක්තරා අවස්ථාවක එහි චිත්‍ර නිර්මාණයේ යෙදී සිටි සිත්තරෙකු තමන් පිටුපස සිටින්නේ තම අතවැසියා යැයි සිතා තමන්ගේ මුවේ තිබූ බුලත් හපය අතට ගෙන පිටුපසට දිගු කළ විට රජතුමා එය දෝතින්ම ගත් බවත් ඉන් බියපත් වූ සිත්තරා රජතුමාට වැද වැටුණු අවස්ථාවේ කලබල වෙන්න එපා මට ඕන ඔය වැඩේ හොඳටම කෙරෙන්න විතරයි කියා සිත්තරා සැනසූ බවත් පැවසෙනවා.

කෙසේ හෝ කන්ද උඩරට යුගයේ කලා ශිල්ප පිළිබඳව උනන්දුවක් පළ කරන ඕනෑම අයෙකුගේ මන දොල සපුරාලන මෙම පුදබිමට, කලාගාරයට යාමෙන් ඔබේ දැනුම් අත්දැකීම් සහ කලා රසාස්වාදය වඩාත් ඔප්නංවා ගත හැකි බවට කිසිදු සැකයක් නැහැ.





සහන් සංකල්ප සිල්වා

Add a Comment

Your email address will not be published. Required fields are marked *