ගින්නට ඇවිළුණු සිංගප්පූරු වෙළෙන්දෝ

ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර. සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

ආණ්ඩුව විසින් දියත් කරන ලද අප්‍රමාණ ප්‍රචණ්ඩ ක්‍රියා, කැරලි කෝලාහල සහ වෙනස් කිරීම්, මදිපුංචිකම් ගැන නොසලකන ප්‍රගතිශීලී සිංහලයන් බොහෝ දෙනෙක් ‘දමිළයින්ට එරෙහිව වෙනස්කම් කර ඇත්දැයි?’ තවමත් ප්‍රශ්න කරතියි බෝපගේ කියයි. ඔවුන්ට දිය හැකි හොඳම පිළිතුර වන්නේ 1958 කෝලාහලයේ දී තමන් ලද ඇතැම් පෞද්ගලික අත්දැකීම් ප්‍රකාශ කර සිටීම බව බෝපගේ ගේ අදහසයි.

“50 ගණන්වල දී අපේ තාත්තා පවත්වාගෙන ගිය වෙළඳසලට ‘සිංගප්පූරු වෙළෙන්දෝ’ නමින් හැඳින්වුණු සාප්පුවක් නොයෙක් සිල්ලර බඩු සැපයුවා. වැලිගම නගරයේ දුම්රියපල ආසන්නයේ පිහිටා තිබුණු ‘සිංගප්පූරු වෙළෙන්දෝ’ යාපනයේ දෙමළ ජාතිකයකුට අයිති සිල්ලර සහ තොග බඩු සාප්පුවක්. ඒ අවට හිටපු බොහෝ දෙනකු බුලත්, පුවක්, බීඩි, සුරුට්ටු වැනි දුම්කොළ නිෂ්පාදනත් අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍යත් මිල දී ගත්තේ මේ සාප්පුවෙන්. යාපනේ දෙමළ තරුණයකු වූ පොන්නම්බලම් වැඩ කළේ මේ සාප්පුවේ. අපේ තාත්තාගේ කඩේටත් වෙනත් කඩවලටත් එයා දිනපතාම බයිසිකලයෙන් බඩු ගෙනාවා. එයා බො‌හොම මිත්‍රශීලී කෙනෙක්. ගමේ උත්සවයක්, සැණකෙළියක් තිබුණොත් මේ දෙමළ මුදලාලියි ඔහුගෙ අනෙකුත් සේවකයොයි එකතු වෙලා මුදල් හා ද්‍රව්‍යමය ආධාර දුන්නා. 1958 කෝලාහලයේ දී ‘සිංගප්පූරු වෙළෙන්දෝ’ සාප්පුවට ගිනි තියලා විනාශ කරල තිබුණා. සාප්පු හිමි මුදලාලිට කුමක් වුණා ද මට මතක නෑ. ඒත් අපේ කඩේට බඩු ගෙනා තරුණයා රාත්‍රියේ හදිසියේම අපේ ගෙදරට ඇවිත් තමන්ගේ ජීවිතය බේර ගන්න අපෙන් උදව් ඉල්ලුවා. අපේ තාත්තා කිසිම පැකිලීමක් නැතිව පොන්නම්බලම්ට උදව් කළා.”

‘තාත්තා අපේ ගෙදර පිටිපස්සෙ ගෙට අල්ලලා වත්ත පහළ හදල තිබුණ කාමර දෙකට පොන්නම්බලම්ව මහ රෑම එක්කර ගෙන ගියා. ඒ අන්ධකාර කාමර ගෙයින් සහමුලින්ම වගේ වෙන් කරලයි හදල තිබුණෙ. ඊ ළඟ දවස් දෙකේ තාත්තා එයාට කෑම සහ ඇඳුම් ගෙනිහින් දුන්නා. කොහොම වුණත් තුන්වැනි දවසෙ අපි දෙමළ කෙනෙක්ට රැකවරණය දෙනවා කියලා ගමේ කටකතාවක් පැතිරුණා. අපේ ගෙදරට පහර දෙන්න සැලසුමක් තියෙනවා කියලත් තාත්තාට දැනගන්න ලැබුණා. ඊළඟට මට මතක තාත්තා කාර් එකක් කුලියට අරගෙන තාත්තට විශ්වාසවන්ත සහෝදරවරු හතර පස් දෙනෙක්ගෙ උදව් ඇතිව පොන්නම්බලම් ඒ කාර් එකේ පසුපස ආසන අසල බිම දිගා කරවලා අර සහෝදරයින් ඔහුගෙ වකුටු වුන ඇඟ උඩ කකුල් තියා ගෙන හිටිය බව. ඒ වැඩෙන් පහර දෙන්න ආපු අයගෙ උකුසු ඇස්වලින් එයාව ආරක්‍ෂා වුණා. ඊට පස්සේ ළඟම තිබුණ කොග්ගල ගුවන් තොටුපලට එයාව ගෙනහිල්ලා එයාගේ ගම චුන්නාකම්වලට ගුවනින් යන්න කටයුතු පිළියෙළ කර දීල තිබුණා.”

එහෙත් තම පවුල දැක බලා ගැනීමට පොන්නම්බලම්ට නිරුපද්‍රිතව සිය නිවසට ළඟා වීමට හැකි වූවාදැයි බෝපගේ අදටත් නොදනී. ඒ අතර තම මිතුරාගේ ජන වාර්ගික පසුබිම නොසලකා ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට තාත්තා උපකාර කිරීම පිළිබඳව ලයනල් බෝපගේ අදටත් ආඩම්බර වෙයි.

මාතර රාහුල විද්‍යාලයේ ඉගෙන ගනිද් දී උදෑසන දුම්රියෙන් පාසල කරා යන අවදියේ ඔහු දුම්රියේ ගමන් ගත් රාජවරෝදය රාජමාතණ්ඩන් නමැති මගියකු සමඟ මිතුරු විය. මෙම මගියා තම විද්‍යාලයේ රසායන විද්‍යා ගුරුවරයා බව පසුව ඔහුට දැන ගන්නට ලැබුණි. සතියකට දින කිහිපයක් පස්වරුවේ බෝපගේ ට පැයක් නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමට රාජමාතණ්ඩන් ඉදිරිපත් විය. බෝපගේ ගේ තාත්තා ඊට මහත් කැමැත්තෙන් එකඟ විය. රාජමාතණ්ඩන් ජීවත් වූයේ ඔහුගේ බිරිඳ, පුතා සහ මාපියන් සමගය. ඒ නිවාස අසල පදිංචිව සිටියේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ දෙමළ ඕවසියර්වරයෙකි. රාජමාතණ්ඩන් පවුල නිසා බෝපගේ සමඟ ඔහුද හිතවත් විය.

ඔවුහු ආගන්තුක සත්කාරයට බෙහෙවින් නැඹුරු පවුලක් බව බෝපගේ අද පවා කෘතවේදීව සිහිපත් කරයි. ඉන්දීය සම්භවයකින් යුත් පවුලකින් පැවත ආ රාජමාතණ්ඩන් ඉන්දියානු විශ්ව විද්‍යාලයකින් විද්‍යා උපාධියක් ලබා ගත් අයෙකි. ඔහු පාසලේ ඉහළ පංතිවලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් රසායන විද්‍යාව උගන්වමින් සිටියේය. බෝපගේ වැඩ කරන ආකාරය පිළිබදව අතිශයින් සතුටු වූ රාජමාතණ්ඩන් ඔහුට උපකාර කිරීමට දිගටම කාලය කැප කළේය.

1958 කෝලාහලයෙන් පසු දිනයේ පාසල් යන්නට රාජමාතණ්ඩන් දුම්රියට ගොඩ වූයේ නැත. ඊළඟ දිනයේ දී ද ඔහු දක්නට ලැබුණේ නැත. මෙය බෙහෙවින් අසාමාන්‍ය දෙයක් විය. රාජමාතණ්ඩන් පවුලේ අය යහතින් සිටීදැයි බැලීමට බෝපගේ සහ තාත්තා ඔවුන්ගේ නිවසට ගිය නමුත් ඔවුන්ගේ නිවසේ කිසිවකු සිටින බවක් දක්නට නොලැබුණි. රාජමාතන්ඩණ්ගේ නිවසට පහර දෙන ලද බවත් ඔවුහු ආපසු ඉන්දියාවට යන්නට ඇති බවත් පසුව දැනගන්නට ලැබුණි.

අසල පිහිටි දෙමළ ඕවසියර්වරගේ නිවසද ගිනිබත් කර තිබිණි. ඔහු පිළිබදවද වෙනත් තොරතුරක් නොවීය.

පාසලේ බොහෝ ශිෂ්‍යයන්ගේ ආදරය දිනා සිටි දක්ෂ ගුරුවරයකුට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව පාසල විසින්වත් ශිෂ්‍යයන්ට කිසිදු තොරතුරක් ඉදිරිපත් කළේ නැත.රාජමාතණ්ඩන් ඉන්දියානුවකු වූ නිසා ඔහුත් සෙසු ගුරුවරුනුත් අතර නොරුස්නා බවක් තිබුණේ දැයි බෝපගේ නොදනී. තමන්ගේ වාර්ගික සහ භාෂාමය පසුබිම් නිසා මිනිසුන්ට එසේ අවමන් විඳින්නට සිදුවීම පිළිබඳව ලයනල් බෝපගේ අතිශයින් කනගාටුවට පත් විය. බෙහෙවින් කෝපයට පත් වූ තාත්තා රාජමාතණ්ඩන්ට සිදු වූයේ කුමක්දැයි වැලිගම පොලීසියෙන් දැන ගන්නට ගත් උත්සාහය අසාර්ථක විය. කිසිදු තොරතුරක් දැනගන්නට නොලැබිණි.

විශිෂ්ට ගුරුවරයකු වූ රාජමාතණ්ඩන්ගේ වෙන්ව යාමෙන් පාඩු සිදු වූයේ මාතර දිස්ත්‍රික්කයේ ශිෂ්‍යයින්ට, ඔවුන්ගේ මව්පියන්ට සහ ඒ අවට ජනයාටය. පසුගිය දශක කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට මෙබඳු අහිමි වීම් කීයක් නම් සිදු වන්නට ඇත්දැයි බෝපගේ තවමත් විමසයි.

රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය සඳහා ඉගෙන ගන්නා කාලයේ දී බෝපගේ තවත් දෙමළ ගුරුවරු දෙදෙනකු දැන සිටියේය. එක් අයෙක් භෞතික විද්‍යාව සහ ක්‍රීඩා විෂයයන් ඉගැන්වූ සෝමසුන්දරම් මහතාය.ඉගැන්වීමට එතරම් දක්ෂයකු නොවූවත් ඔහු කදිම පුද්ගලයෙකි. අනෙක් ගුරුවරයා යාපනයෙන් පැමිණ විද්‍යාලය අසලම පදිංචිව රසායන විද්‍යාව ඉගැන්වූ වෙනායගම් පිල්ලේ මහතාය. සිසුන් ඔහුව හැඳින්වූයේ ‘වීණාව’ යන අනවර්ථ නාමයෙනි. ශබ්ද නඟා උගන්වන බැරෑරුම් කට හඬ නිසා ඔහුගේ ඉගැන්වීම විද්‍යාලයේ ඉතා ඈතට ඇසුණි. ඉතා යහපත් ගුරුවරයකු වූ ඔහුගේ සිසුහු බොහෝ දෙනෙක් අවසන් විභාගය හොඳින් සමත් වූහ.

1961 උතුරේ පවත්වන ලද සිවිල් විරෝධතා සත්‍යග්‍රහය ව්‍යාපාරයට එරෙහිව ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට දැඩි මර්දනයක් දියත් කළ අතර 1963 දී පමණ දකුණේ දෙමළ විරෝධී කෝලාහල යලිත් වරක් පැන නැඟුණේය. මේ දෙමළ විරෝධී කෝලාහල නිසාවෙන් වෙනායගම් පිල්ලේ මහතාට රැකියාව හැර යන්නට සිදු විය. ඒ අන්දමට දකුණේ ශිෂ්‍යයින්ට තවත් විශිෂ්ට ගුරුවරයකු අහිමි වී ගියේය.

රට මත පැතිරුණු මේ ව්‍යසන මැද බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් සංවර්ධන කටයුතු සඳහා දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන ලදි. එහි විශ්වසනීයබව තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා සහ සැලසුම් සම්පාදක මණ්ඩලය විසින් කීර්තිමත් විදේශීය ආර්ථික උපදේශකයින් රැසකට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදි. ඔවුන් අතර ජෝර්න් රිචර්ඩ් හික්ස් (බ්‍රිතාන්‍යය), ගුනාර් මිර්ඩාල් (ස්වීඩන්), නිකොලස් කැල්ඩර් (බ්‍රිතාන්‍යය) සහ ජෝන් වයලට් රොබින්සන් (බ්‍රිතාන්‍යය) යන අයද ඇතුළත් වූහ. වයලට් මේ පිරිස අතර සිටි එකම කාන්තාවය.

‘පාරිභෝගික භාණ්ඩවලින් රට ස්වයංපෝෂිත කිරීමටත් ඉතිරි කිරීම් යොදාගෙන කාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ මිලට ගැනීමටත් එසේ කිරීමෙන් දිළිඳුකම සැහැල්ලූ කිරීමට’ යනුවෙන් වූ සැලැස්මේ අරමුණ ඉතා සරළ සහ ප්‍රශංසනීය එකක් විය. එහෙත් රජය ආර්ථික ක්‍ෂේත්‍රය අභිභවනය කළ පමණකින්ම ප්‍රතිපත්තියක් සමාජවාදී එකක් බවට පත් නොකෙරෙන බව බෝපගේ ගේ මතයයි.

“එහෙම වෙන්න නම් පංති ව්‍යුහය තුළ වෙනසක් ඇති වී ආර්ථිකය විදේශ වෙළඳපල සහ ප්‍රාග්ධනය මත රඳා පැවතීමෙන් මිදිය යුතුයි. එහෙම දෙයක් කිසිදාක ශ්‍රී ලංකාවේ සිදු වුයේ නෑ. රැකියා, මුදල් සහ අනුග්‍රාහකත්වය යන ආකාරයේ ත්‍යාගශීලිත්වයන් කිසිදාක සමාජයේ පහළ ස්ථරයන් වෙත ළඟා වූයේ නැහැ.”

අගමැතිවරයාගේ සංවර්ධන සැලැස්මෙන් අදහස් කළේ කුමක් ද යන්න පිළිබඳව විශේෂඥයන් දැරූ විවිධාකාරයේ වෙනස් අදහස් නිසා සැලැස්ම අභාවයට පත් විය. සැලැස්ම කිසිදාක නිසි අයුරින් ක්‍රියාත්මක නොකරන ලද අතර කිසිදාක විදේශ ණය බර හෝ දිළිඳුකම අඩු වූයේ නැත.

60 ගණන්වල ශ්‍රී ලංකාවේ සේවය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංශයක් වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කෘෂි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය බැන්සිල් ඒ බව නිරීක්ෂණ කළේයැයි බෝපගේ ට මතක තිබේ.

“එයාගේ අදහස වුණේ අපේ රටේ ආර්ථික සංවර්ධනයට සුදුසු පරිපූර්ණ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට මෙතෙක් දැඩි උත්සාහයක් ගෙන නැති බවයි. ඒ අනුව 1959 දී දියත් කරන ලද දස අවුරුදු සැලැස්ම අත්හැරියා. ඉන් පසුව ගෙන ආ කෙටි කාලීන ක්‍රියාත්මක කිරීම් වැඩසටහනත් ඒ කියන්නේ 1962-1964 අතරේ ගෙන ආ සැලසුමත් කිසිදාක ක්‍රියාත්මක කළේ නෑ. ඒ විතරක් නෙමෙයි මේ දක්වා කළ එළි දුටු සියලුම සැලසුම් බලයේ සිටින දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ යම් ඇමතිවරයෙකුගේ පෞද්ගලික කැමැත්තට අනුව ක්‍රියාත්මක වූ ඒවා පමණයි. ඔවුන් බලයෙන් පහවූ වහාම අදාළ සැලැස්මත් ඉවතට දැමෙනවා.”

“ ඒ නිසා තමයි “ඉතිහාසයේ කිසිම අවස්ථාවක සැලසුම් සහගත ආර්ථික වැඩපිළිවෙළත් ක්‍රියාත්මක නොකරන ලද සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව” කියලා සංවර්ධන අර්ථ ශාස්ත්‍රඥයන්ට අතර ප්‍රමුඛයෙක් වුණ ගුනාර් මිර්ඩාල් කිව්වේ.”

“කොහොම වුණත් ආර්ථිකය සහ පංතිය පුරුදු පරිදිම පවත්වාගෙන යෑමට බණ්ඩාරනායක මහතාට පුළුවන් වුණා. ඒත් එයාට පාලනය කළ නොහැකි වුණේ එයාවත් බලයට ගෙනාපු ජාතිවාදයේ දෙබරයයි. ඒක නරක විදිහට පැතිරුනා.

හෙට – නඩුවට නුවරඑළිය ගිය කොඩි පෙළපාලිය

සිසිර යාපා

Add a Comment

Your email address will not be published. Required fields are marked *