අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන – බැද්දගාන සොභ උයන

කැ‍ලේ – කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව කෙතරම් අසත්‍යයක්ද යන්න තහවුරු කරන ප්‍රබල සාක්ෂියක් ඔබ හමුවට ගෙන ඒමටයි අද අපගේ මේ වෑයම.

බැද්දගාන කියන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය ශ්‍රී ජයවර්ධනපුරය අද්දර පිහිටි ප්‍රදේශයක්. අධික ජනගහනයකින් යුතු නාගරික කලාපයක් වන මෙම ප්‍රදේශය ගලා යන දියවන්නා ඔය කේන්ද්‍ර කර ගනිමින් සැබෑ වන අරනක අසිරිය එලෙසින්ම ඔබ හමුවට ගෙන එන බැද්දගාන තෙත්බිම් උද්‍යානය නාගරික පරිසරයක් තුළ නිමවන ලද විස්මිත සොබාදම් රජ දහනක් බව නිසැක ලෙසම කිව හැකියි. බස්නාහිර පළාත් තෙත් බිම් කලාපීකරණය යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවට ඇති පාරිසරික තර්ජනයට ලක් වූ තෙත් බිම් එකොලහක් අභිරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ සුරැකුණු මෙම මාහැඟි තෙත්බිම් කලාපය මිනිසා විසින් සොබාදම් මාතාව වෙත තිලිණ කළ සොඳුරු දායාදයක් බව එහි පිවිසෙන ඔබට නිසැක ලෙසම ඒත්තු යනු ඇති. හෙක්ටයාර් දහඅටක හෙවත් අක්කර හතලිස් හතරකට මඳක් වැඩි භූමි භාගයකින් යුතු මෙය පහතරට තෙත් කලාපයට අයත් වෘක්ෂලතා ගොඩබිම් සහ ජලජ ශාක සේම ක්ෂීරපායි, උරග, මත්ස්‍ය, සමනල ගහනයකින් සමන්විතයි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවත්වාගෙන යන මෙම අගනා පරිසර පද්ධතිය දිනපතා පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විවෘතව තිබෙනවා. රුපියල් පනහක් වැනි මුදලක් ගෙවා ඊට ඇතුළුවන ඔබට එමෙන් සිය දහස් ගුණයක පාරිසරික ආශ්වාදයක් මෙම තෙත් බිම් තුළදී අත්විඳීමට පුලුවන්.
මෙම තෙත් බිම පුරා විහිදුණු ස්වභාවික මං පෙත් විහිදුණු ස්වභාවික මංපෙත් Nature trail පක්ෂි නිරීක්ෂණ අට්ටාල ආදිය සේම කෝට්ටේ රාජධානි සමයට අයත් ෙඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා වන පුරා විද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත්  ද මෙහි පිහිටුවා තිබිම විශේෂත්වයක්. එමෙන්ම හාත්පස නාගරික පරිසරයේ ඇති උණුසුම්කාර බවද මේ උද්‍යානය තුළ නැහැ.
 සොබා දහමේ රසය විඳ ගැනීමට කැමති පරිසර ලෝලීන්ට සේම ශාක සහ සත්ව ගවේෂකයන්ට සේම තෙත් බිම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පරිසර ලෝලීන්ට පහසුවෙන් ළඟා විය හැකි මෙම තෙත් බිම් උද්‍යානය පිහිටා ඇත්තේ ‘දියත උයන’ පිහිටි ප්‍රදේශයට ඉතා ආසන්නවයි.
බොරැල්ල, රාජගිරිය හරහා කඩුවෙල දෙසට යනවිට හමුවන ‍පොල්දූව පාලමට මෙපිටින් දකුණට හැරී ගිය විට හමුවන මෙම බැද්දගාන තෙත් බිම් උද්‍යානයට පිවිසෙන ඔබ මේ අපේ රටේ අගනුවර දැයි සිතී එක්වරම විස්මයට පත් නොවුවහොත් එයද මහත් අරුමයක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුයි.








දමයන්ති ගමගේ

Add a Comment

Your email address will not be published. Required fields are marked *